f

Tuesday, November 22, 2011

ෆේස්බුක් කැඩපත හරහා


අපිට අපි දිහා බලන්න, ඇස් වල තියෙන දුක සතුට, පාලුව දකින්න, අපිට අපිවම මතක් කරල දෙන්න කන්නාඩියකට පුලුවන්. ටික වෙලාවක් බලන් හිටියම තේරෙනව තමන්ගෙ හිතේ තමන් ගැන තියෙන රෑපෙ නෙමෙය් ඇත්ත රෑපෙ කියල. ‍කාලෙන් කලෙට ලංකාවෙ සමාජෙ අවධානය ගන්න මොකක් හරි දෙයක් එනව. දුරකථන ඇමතුම්, ‍කෙටි පනිවිඩ, නවීන ජංගම දුරකථන, ලංකාවෙ මිනිස්සු ඕවට ප්‍රතිචාර දක්වන විදියෙන් අපේ සමාජයෙ නියම ස්වරූපය දකින්න පුලුවන්. ඒ අලුත්ම කැඩපත තමය් 'ෆේස්බුක්'.

ඔය දේවල් මුලින්ම විකුනන්න පටන් ගන්නෙ මාධ්‍යය. සිරස ‍ රේඩියෝව ලංකාවෙ මුලින්ම දුරකථන ඇමතුම් වලින් ගීත ඉල්ලීමේ පහසුකම ලබා දෙනව. ‍ඊට හරියට දශකයකට විතර පස්සෙ කෙටි පනිවුඩ, එහෙමත් නැත්නම් sms අපේ සමාජය ආක්‍රමනය කරනව. කැමතිම ගීතය ඉල්ලීමේ ඉන්දන් රියැලිටි ටීවී වැඩසට‍හන් වල තමන් කැමතිම තරඟ කරුව තෝරනකන් ‍කෙටි පනිවුඩය පාවිච්චි කරන්න ප්‍රේක්ශකයට පුලුවන් වෙනව. මාධ්‍යයෙන් කරදරයක් නැතුව පහසුවෙන් අපිට ඕන දේ ගන්න, නැත්නම් තාක්ශනය පාවිච්චි කරන්න තියෙන ආසාව නිසා අපි ඔය පහසුකම් සලසන නාලිකා වෙත වැඩි අවධානයක් යොමු වෙනව. ඔය හැමදේටම සමාජයේ දැන උගත් යැය් සම්මත අයගෙනුත්, ඔවුන් කියන දේ එහෙමම පිලිගන්න පොඩ්ඩන්ගෙනුය් ලොක්කන්ගෙනුය් ලොකු විරෝධයක් එල්ල වෙනව. සංස්කෘතිය විනාශ වෙනව, තරුන පරපුර නොමග යනව, අධ්‍යාපනය කඩා කප්පල් වෙනව, හැමදාම ඇහෙන දේ.

ඔය හැම දෙයක්ම පහු කරගෙන ඇවිත් අද අපි නතර වෙලා තියෙන්නෙ ෆේස්බුක් වල. අපි ලොග් ඉන් වෙලා වොල් පෝස්ට් එකක් දාල ආපහු ලොග් අවුට් උනාට ඕක පිටිපස්සෙ වෙන්නෙ මාර්ක් සකර්බර්ග්ව ධනවත් කරන ව්‍යාපාරයක්. නමුත් අපිට තියෙන ප්‍රයෝජනෙන් අඩුවක් නැහැ. කෙනෙක්ට ලංවෙන්න දුරකථන අංකයක්වත්, ලිපිනයක්වත් අවශ්‍ය නැහැ, ඕන නම විතරය්. ඒ නිසා කාලයත් එක්ක අපෙන් වෙන්වුනු මිතුරො හොයාගන්න, ඔවුන්ව සම්බන්ධ කරගන්න, නැත්නම් කැමති සින්දුවක් වීඩියෝ එකක් පහසුවෙන් බෙදා ගන්න අපිට පුලුවන් වෙලා තියෙනව. ‍අන්තර්ජාල සබඳතා වල මිල අඩුවීමත් එක්ක අපේ දූපත් වැසියන්ට හරියට ආදී මානවයට ගින්දර හම්බුනා වගේ ෆේස්බුක් හම්බ වෙනව. එදා ඉන්දන් රේඩියෝ නාලිකා වල, රූපවාහිනී නාලිකා වල විතරක් නෙමෙය් මෙගා නාට්ටි වල පවා ෆේස්බුක් පට්ට ගහනව, හරියට ෆේසබුක් ප්‍රමෝට් කරනවට ගාස්තුවක් ලැබෙනව වගේ.

ඒත් එකක්ම ෆේස්බුක් බදා ගෙන ඉන්න පිරිසක් වගේම ෆේස්බුක් විරෝධියො පිරිසකුත් බිහිවෙනව.ෆේස්බුක් නිසා තරුන පරපුර නොමග යනව, අපරාධ වැඩි වෙනව, ඔවුන් කියන දේ. ෆේස්බුක් මේ අපිට පෙන්නන්නෙ අපේ මිනිස්සුන්ගෙ වෙනසට තියෙන බය. අපේ රටේ මිනිස්සු තනියෙන් හිතන්නෙ නැහැ, මේ නිසා ප්‍රසිද්ධියය් මහාචාර්ය පට්ටමකුය් තියෙන ඕනෙම කෙනෙකුට ලෙහෙසියෙන් මිනිස්සුන්ගෙ මොල හෝදන්න පුලුවන්. දේශපාලකයො ඉස්සර ඉන්දන්ම උපක්‍රමයක් හැටියට කලේ විරුද්ධවාදියගෙ මතයට මිනිස්සුන්ව බය කරන එක. මේ සිස්ටම් එක මෙහෙමම තියෙනකන් විතරය් උඹලට පැවැත්මක් තියෙන්නෙ, ඒක වෙනස් උනොත් උඹලගෙ සංස්කෘතිය, ආගම වලපල්ලට යාවි, රට බෙදේවි, ඔය විදියට මිනිස්සුන්ව භය කරන්න පුලුවන් හැකියාව තියෙන පුද්ගලය සාර්ථක දේශපාලකයෙක්.

මේ ක්‍රමයට හුරු වෙලාම අපේ බහුතරයක් ගතානුගතික වාදියො වෙලා, අපිට නුහුරු දෙයක් දැක්කම නයාට අඳුකොල කැවුන වගේ, නයිට් ක්ලබ් එකක් දැක්කම කෑගහනව, අපේ තරුන පරපුර විනාශ වෙනව, රටේ සංස්කෘතිය වලපල්ලට යනව. ජංගම දුරකථනයට බනිනව, ඒක මිනිස්සු වල් වද්දන මහම මහා කුනුහර්ප යන්ත්‍රයක් ලු. ඉස්සර කාලෙ තරුනයොන්ට ලිංගික දර්ශනයක් බලන්න ඕන උනාම පත්තර ගන්න සිද්ධ උනා, නැත්නම් වීඩියෝ කැසට් ගන්න උනා. ඒව හංගන්න අමාරුය්, බෙදා හදාගන්න අමාරුය්, ලේසියෙන් හව් වෙන්න පුලුවන්. නමුත් දැන් ඕක සීඩී එකේ ඉන්දන්, පෙන් ඩ්‍රයිව් එකට, අඟලක්වත් නැති මෙමරි චිප් එකට ඇව්ල්ල. ඒ දවස් වල අමාරුවෙන් පත කැසට් වලින් ඕව බලපු උදවියම වයසට ගිහින් ලොම් හැලුනට පස්ාස, ඒ වැඩේ ලේසියෙන් කරගන්න කොල්ලොන්ට බනිනව. වෙනස් වෙලා තියෙන්නෙ උපකරනය විතරය්, අරමුන වෙනස් වෙලා නෑ. ඒ වගේම ෆේස්බුක් කියන්නෙත් ඉස්සර තිබුනු පෑනෙ මිතුරු ක්‍රමේම වර්තමාන ස්වරූපය, කාලයක් ලියුමෙන් මිනිස්සු ලව් කරා, ඊට පස්සෙ දුරකථන ඇමතුම් වලින්, කෙටි පනිවුඩ වලින්, දැන් ෆේස්බුක් ඒ අවශ්‍යතාවය සපුරල දෙනව.

ෆේස්බුක් කියන්නෙ තමන්ගෙ මිතුරො එක තැනකට එක්කහු කරන්න ඉඩදෙන දෙයක්. නමුත් අපේ රටේ උදවිය කරන්නෙ ඕකෙ අනිත් පැත්ත, මාධ්‍ය උනත් ෆේස්බුක් ප්‍රමෝට් කරන්නෙ මිනිස්සුන්ව අඳුර ගන්න පුලුවන්, කොල්ලොන්ට කෙල්ලො හොයා ගන්න පුලුවන් ‍ඩේටින් සයිට් එකක් විදියට. ඉතින් අපේ කට්ටියට මේක හොන්ද අවස්ථාවක්. අපේ සමාජ ක්‍රමයත් එක්ක පිරිමින්ව ගැහැනුන්ටත්, ගැහැනුන්ට පිරිමින්වත් ලොකු මැජික් එකක් වෙලා තියෙන්නෙ. ඉතින් සදාචාර පොලිසියෙනුත් බේරිලා, තමන්ව ඔඩොක්කුවෙ තියාගෙන බබා කරන දෙමව්පියන්ගෙන් බේරිලා, ඒ වගේම තමන්ම සමා‍ජෙ හදාගෙන ඉන්න ප්‍රතිරූපෙන් බේරිලා තමන්ගෙ ෆැන්ටසිය ජීවත් වෙන්න මේක හොන්ද අවස්ථාවක්.

සමහරු දකින දකින අයව තමන්ගෙ ෆේසබුක් එකට දාගන්නව, සමහරු බොරු ගෑනු ගිනුම් හදාගෙන සෙක්ස් චැට් කරන්න හදනව. මේ ක්‍රමයෙන් පෙන්නන්නෙ අ‍පේ සමාජයේ ගෑනු සහ පිරිමි ‍කොච්චර තනි වෙලාද කියල, කොච්චර ලිංගික අසහනයකින්ද ඉන්නෙ කියල. ඇත්ත ලෝකෙදි තමන්ටම බොරු කරගන්න අය ඒව පැත්තකට දාල ‍සමාජ ජාලා වෙබ් අඩවි වලදි තමන්ගෙ ඇත්ත ස්වරෑපෙට එනව. මෙවැනි බොරු ගිනුම් කුනු හර්ප වලින්, හොරා ගත් ලස්සන තරුනියන්ගෙ ඡායාරූප වලින්, ලිංගික යෝජනා වලින් පිරිල. සදාචාරාත්මක ලංකාවට පිටිපස්සෙන් තියෙන ඇත්ත ලංකාවෙ තත්වය ඕකය්.

ෆේසබුක් වලින් අපේ රට ගැන පෙන්නන තවත් දෙයක් තමය් ඔලුව කැක්කුමට කොට්ට මාරු කිරීමේ අසාර්ථක ක්‍රමවේදය. කාම චිත්‍රපටි නරඹන්න ලමය් යොමු වීමට ගොඩක් අය වැරදි පටවන්නෙ තාක්ශනික උපකරන වලට, ඔවුන් පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ ඒ දේ කරන්න ලමයින්ව පොලඹවන්නෙ මොන වගේ සාධකද කියල. ෆේසබුක් වලින් සිදුවෙන අපරාධ ගැන කතිකාව ඉහල යද්දි කවුරුත් කතා කරන්නෙ නැහැ ඒ අපරාධ කරන මිනිස්සු අපරාධ කරන්න පෙල‍‍ඹෙන්නෙ ඇය් කියල. ඉතින් අපි හැමදාමත් කරන්නෙ sms එකටය්, ජංගම දුරකථනයටය් බැන බැන ඉන්න එක මිසක් ප්‍රශ්නෙ මුල හොයන එක නෙමෙය්.

ෆේස්බුක් කියන්නෙ අපේ ලෙඩ ‍වෙච්ච සමා‍‍ජෙ රෝග ලක්ශන පෙන්නුම් කරන තැනක් මිසක් රෝග බෝ කරන තැනක් නෙමෙය්. පිහියකින් කට්ටියක් පාන් කපද්දි තව කට්ටියක් මිනී මරනව, ඒක පාවිච්චි කරන පුද්ගලයගෙ අරමුනේ ප්‍රශ්නයක් මිසක් පිහියෙ ප්‍රශ්නයක් නෙමෙය්. ඒ වගේම පිරිසක් ෆේස්බුක් ඇත්තටම මිතුරො එක්ක සම්බන්ධ වෙන්න යොදා ගනිද්දි පිරිසක් තමන්ගෙ ප්‍රතිරූපය හදාගන්න, තමන්ගෙ ජීවන රටාව අනුන්ට පෙන්නල ස්වයං වින්දනයක් ගන්න පාවිච්චි කරනව. පිහියෙන් මිනිහෙක්ව මරන්න ලේසි බව ඇත්ත, නමුත් මිනී මරන අරමුනක් පාවිච්චි කරන පුද්ගලයට නැත්තන් කාටවත් හානියක් නැහැ. ෆේස්බුක් මිනිස්සුන්ට සම්බන්ධ වෙන්න ලේසි ක්‍රම හොයල දෙද්ද එයින් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න මිනිස්සුන්ටත් වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් වෙන එක ඇත්ත. නමුත් වැරැද්ද තියෙන්නෙ අරමුනේ මිසක් ෆේස්බුක් අඩවියෙ පහසුකම් වල නෙමෙය්. ‍හැමදාම උපකරන වලට බැන බැන ඒව අවහිර කිරීමෙන් වෙන්නෙ ඒවයින් හොන්ද ප්‍රයෝජනයක් ගන්න මිනිස්සුන්ටත් අසාධාරනයක් වෙන එක. නමුත් අපි හැමදාම අනුගමනය කලේ ඔය ක්‍රමවේදයමය්. අපි ලංකාවෙ අබ්බගාත සමාජ ක්‍රමයට වරද පටවන්නෙ තාක්ශනයට මිසක් අපේම ආකල්ප වලට නෙමෙය්. මොකද අපේ කැත ආකල්ප ප්‍රකාශ වෙන්නෙ ඒ වගේ තැන්වලින් නිසා. ඉතින් ෆේසබුක් භාවිතය වගේම ඒ ගැන අපේ සමාජය දක්වන ප්‍රතිචාරය ඇත්තටම අ‍පේ සමාජය ගැන ෆේසබුක් මවන ප්‍රතිබිම්භයක්. නමුත් ලංකාව කියන කැත ගෑනි හැමදාම කලෙත්, ඉස්සරහට කරන්නෙත් තමන්ගෙ කැත මූනට කන්නාඩියට බනින එක.

 



Sunday, November 20, 2011

ස්වයං වින්දනය, ශ්‍රී ලාංකේය තාරුන්‍යයේ අනන්‍යතාවය


පර්යේශන වලට අනුව දිනකට පිරිමියෙකු දහතුන් වතාවකුත්, ගැහැනුන් පස් වතාවකුත් ලිංගිකත්වය ගැන හිතනව. නමුත් ලිංගිකත්වය කියන්නෙ නොහොඹිනා දෙයක්, ලිංගික ක්‍රියා වල නිරත වීම මහ පොලව නුහුලන අපරාධයක්. එයින් වසර 2500 ක් පරන අපගේ සංස්කෘතිය විනාශ වන අතර තරුන ජීවිත අඳුරු වෙනව. නිරුවත, ලිංගික ක්‍රියා රස විඳීම අපේ සංස්කෘතියට අය්ති නැහැ. මේ දිනපතා අපිට පාසලෙන්, රූපවාහිනියට එන පඬියන්ගෙන් ඇහෙන දේ. එහෙනම් ලංකාවෙ ඉන්නෙ අමුතුම මිනිස්සුද, නැත්නම් ඔය ඇතිවෙන ලිංගික හැඟීම් පිට වෙන්නෙ කොහෙටද?



ලංකාවෙ මිනිස්සුන්ට ලිංගිකව හැසිරීම තියා තරුන ‍ජෝඩුවක් අත් අල්ලන් ගියත් කේන්ති යනව, නිරුවත තියා කොට සායක් දැක්කමත් ඉහ මොල රත් වෙනව. ඔවුන්ට අනුව අත් පටලවා ගෙන යාමටත්, කොට සායටත් රටක් විනාශ කරන්න පුලුවන් අපූරු බලයක් තියෙනව. ඉතින් පාලකයන්ටත් මේ අයව සතුටින් තියන්න ක්‍රියා මාර්ග ගන්න වෙලා. කුරුනෑගලදි අත් අල්ලන් ගිය ජෝඩු දෙසීයක් විතර අත් අඩංගුවට ගන්නව, හෝටල් කාමර වටලනව, ගාල්ල කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක් කරනව. දැන් සියල්ල හොඳින්, රට යහපත් ‍වේවි. නැහැ, තරුනයො කාම චිත්‍රපටි වලට ඇබ්බැහි වෙලා, ගනිකා ව්‍යාපාරය සරුවට සිදුවෙනව, රට නැවතත් අනතුරේ. කාම චිත්‍රපටි අවහිර කරනව, ගනිකා මධ්‍යස්ථාන වටලනව. ඒත් තත්වය තවත් නරක අතට හැරෙනව, ග්‍රීස් යක්කු බෝ වෙලා ගෑනුන්ට අතවර කරනව, මේ අතරෙ පාරට බහින මහ ජන‍යා ග්‍රීස් යක්කුන්ට ගහල මරනව. සමාජයම අබ්බගාතය්, නොදියුනු අප්‍රිකානු රටක තත්වයට ලංකාව ඇද වැටෙනව. 

මේකට හේතුව මාධ්‍ය වලින් විකුනන නිරුවත, පරිගනකය, ජංගම දුරකථනය, කට්ටියක් කියනව. තව තවත් මේ දේ පාලනය කල යුතුය්, යටපත් කල යුතුය්, ඒ ඔවුන් යෝජනා කරන විසඳුම. හැබැය් බස් වල ජැක් ගැහීමේ චාරිත්‍රයෙ නම් කිසිම අඩුවකුත් නැහැ. මෙහෙන් කට්ටියක් කියනව ලාංකිකයො සදාචාරාත්මක ජාතියක් කියල, එහෙන් කට්ටයක් ග්‍රීස් ගාගෙන ගෑනු දඩයමේ යනව, බස් වල ජැක් ගහනව. මෙහෙන් කට්ටියක් කියනව ලිංගිකත්වය සමාජයෙන් යටපත් කලාම ඔක්කොම හරි යය් කියල, නමුත් යටපත් කරන්න කරන්න තත්වය තවත් තවත් නරක අතට හැරෙනව. මොනවද මේ පරස්පර විරෝධී කතා?

මුන් ඔක්කොම පිස්සො, හනමිටි කාරයො, කට්ටියක් කියනව. නමුත් ඔය ප්‍රශ්නෙ මුල් අවුරුදු සිය ගනනක් පරන ඉතිහාසෙට ඇදිල යනව. දහ නමවෙනි සියවසේ එංගලන්තයෙ තිබුනු සංස්කෘතියෙන් කාන්තාව පරිගනක වැඩසටහනක් වගේ විධාන කිහිපයක් පිලිපදින්න පුරුදු කරල තිබුනෙ. බිම ගෑවෙන තරම් දිග ගව්මක් ඇඳගෙන, අහිංසක, නිර්මල, සංවර ගැහැනියගේ චරිතය රඟ පාන්න ඔවුන්ට සිදු වෙලා තිබුන. ලිංගිකත්වය ගැන දැනුමක්, තමන්ගෙ මතයක් දැරීමට අය්තියක් ඔවුන්ට තිබුනෙ නැහැ. කොටින්ම කාන්තාව පන නැති බෝනික්කෙක් බවට පත් කරල තිබුනෙ.  ඇඟ ආවරනය වෙන්න ඉහල පන්තියෙ ගෑනු ඇඳුම් අඳිද්දි පහල පන්තියෙ ගෑනු ඇඟ නිරාවරනය කර ගෙන ඉන්න, ලිංගිකත්වය ගැන කිසි වගකීමක් නැති සදාචාරය සෝදා පාලු කරන්නන් කියල හංවඩු ගැහෙනව. 

සුද්ද ලංකාවට එන කොට ලංකාවෙ ගෑනු හිටියෙ අඩ නිරුවත්ව, ලිංගිකත්වය උනත් ඔවුන්ට මහ දෙයක් වෙලා තිබුනෙ නැහැ. නමුත් ඉංග්‍රීසීන්ගෙ ආක්‍රමනයෙන් පස්සෙ ඔවුන්ව ලඟින් ආශ්‍රය කරපු රදලයො ඔය සංස්කෘතිය තමන්ගෙ කර ගන්නව. සුද්ද රට දාල යන්නෙ ඔන්න ඔය රදලයො ටික ඉතුරු කරල. ඉහල පන්තියට සම වීමේ මේනියාවකින් පෙලෙන පහල සමාජ ස්ථර වල මිනිස්සු ඔය සංස්කෘතිය වැලඳ ගන්නව. ගැහැනිය සමාජ යහපත උදෙසා තම ශරීරය සම්පූර්නයෙන් ආවරනය කර ගත යුතුය්, ගැහැනියට අධ්‍යාපනය සුදුසු නැත, රැකියා කිරීම සුදුසු නැත වගේ මත අපේ සමාජයෙ මුල් බැහැ ගන්නව. දැන් අපේ ඈයො ඔය ලාංකීය සංස්කෘතිය කියල ඇත්තටම රකින්න හදන්නෙ එංගලන්ත කාරය උනත් විසික් කරල දාපු වික්ටෝරියානු සංස්කෘතිය, එතන අපේ කමක් නැහැ.


කාලයත් එක්ක ලංකාවෙ තියෙන ආගමික පසුබිමින් ඔය ක්‍රමයට පොහොර වැටෙනව. ඒ ක්‍රමය තමය් රබර් බෝලය වතුර යට ඔබන් ඉන්නව වගේ ලිංගිකත්වය යටපත් කරන එක. නමුත් අපි අපිටම කොච්චර බොරු කරන්න හැදුවත් අපි හැ‍මෝම ලිංගිකත්වයට, නිරුවතට හරි පෙරේතය්. ඉතින් ඔය අවශ්‍යතාවය ඉටු කරගන්න බැරි උනු තැන බලාපොරොත්තු කඩ වෙනව, මිනිස්සු අසහන කාරයො වෙනව, ප්‍රචන්ඩ වෙනව. ඒ වගේම විරුද්ධ ලිංගිකයන්ට වෛර කරනව. අරාබිකර රටවල් වල කාන්තාවන්ට ගල් ගහන්න පිරිමි කැමැත්තෙන් ඉදිරි පත් වෙන්නෙ ඔය වෛරය පිරි මහගන්න, තමන්ව ලිංගික අසහනයට පත් කරන ගෑනුන්ට ඔවුන් වෛර කරනව. ශතවර්ශ ගනනාවකට කලින් හිටපු කතෝලිකයො ලස්සන කාන්තාවන්ට මායාකාරියො යැය්  චෝදනා කරල, ඔවුන්ව ප්‍රසිද්ධියේ නිරුවත් කරල වධ දුන්න, වධකයන්ට ලිංගික හැඟීම් ඇති වුනොත් ඒකට චෝදනා කලෙත් කාන්තාවට. 

Sexual repression, එහෙමත් නැත්නම් ලිංගික අවරෝධනය තියෙන ඕනෙම රටක මිනිස්සු ප්‍රචන්ඩය්. ඔය ප්‍රචන්ඩත්වය තමය් ලංකාවෙ හැම තැනම දකින්න තියෙන්නෙ, ඔය ප්‍රචන්ඩත්වය තමය් ග්‍රීස් යක්කු සිද්ධියෙදි රබර් බෝලෙ උඩට එනව වගේ මුලු ජන සමාජයම කම්පනය කරමින් මතු උනේ. කාන්තාවන් කෙරෙහි වෛරයද අපේ සමාජයෙ අඩුවක් නැතිව තියෙනව. කොට ඇඳුමක් ඇඳන් ඉන්න තරුනියකගෙ ඡායාරූපයක් අන්තර්ජාලයෙ පලවුනොත් වැටෙන ප්‍රතිචාර බහුතරයක් අමු තිත්ත කුනුහර්ප. සංස්කෘතිය ආගම වගේ වචන තමන්ගෙ දුර්වල පෞරුශය වහගන්න ඔවුන් පාවිච්චි කරනව.  තමන්ගෙ ලිංගික ආසාව පාලනය කර ගැනීමේ වගකීම ඔවුන් පවරන්නෙ කාන්තාවට. පිරිමින්ව සදාචාරාත්මක කරවන්න කාන්තාවට තමන්ව කොටු කර ගන්න වෙලා.

තමන්ගෙ ආගමික විශ්වාසය හැමෝටම ඔබ්බවන්න හදන විවිධ ආගම් වල පූජකයො,  ගන්න තියෙන ආතල් ඔක්කොම අරගෙන ඉවර කරපු සංවාද වැඩසටහන් වලට එන පප්පල නිසා අද තමන්ගෙම සහකාරිය එක්කවත් කාලය ගත කරන්න අපිට බැරි වෙලා. පප්පල කියන දේ හිස් මුදුනින් පිලි ගන්න පොඩ්ඩො ඔය මත ඊලඟ පරම්පරාවට අරගෙන යනව. තමන්ගෙම සහකරුව එක්කවත් කාලය ගත කරන්න නිදහසක් නැහැ, ඊලඟ විසඳුම වන ලිංගිකත්වය මුදලට ගැනීමටත් ඉඩක් නැහැ, අඩුම තරමේ කාම චිත්‍රපටි බලන්නවත් ඉඩක් නැහැ. තව ටික කාලෙකින් සමහර විට අපේ ලිංගික අවයව වලටත් ඉබ්බෙක් දාන්න කියල යෝජනාවක් එය්. නමුත් වාසනාවට තවම එහෙම දෙයක් වෙලා නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමෙත් ඒක ලිංගිකය්, ලිංගිකත්වය කොල්ලො කෙල්ලොන්ට මැජික් එකක් වෙලා. පාසල් සිසුවන්ට ආදරේ තහනම් දෙයක් වෙලා. පාසල් සිසුවන් ජංගම දුරකථන වලින් කාම චිත්‍රපටි බලන්න පෙලඹීම ඉතින් පුදුමයක්ද? 

අපේ රටේ ලිංගිකත්වයට විරුද්ධ අය බොහෝ විට විරුද්ධ වන්නේ තමන්ගේ ආගමික මත නිසා, නැතිනම් තියෙන සමාජ ක්‍රමය අසාර්ථක වුවත් එහෙමම තියෙන්න ඕන කියන ගතානුකතිකවාදියො නිසා. එහෙමත් නැතිනම් අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්විය යුතු නිසා. තමන්ගේ ආගමික මත අනුන්ට බලෙන් ඔබන්නට යාම සාධාරන නෑ. ඒ වගේම සමාජ ක්‍රමයක් අසාර්ථක නම් එය රැක ගැනීමෙන් පලක් නැහැ. රබර් බෝලෙ වතුර යට ඔබන ක්‍රමේ පැහැදිලිවම අසාර්ථකය්. අපේ රටේ තරුනයො ලිංගික කුහකත්වයෙන් පිරිල, කිසිම ආත්ම අභිමානයක් නැහැ , ඒ වගේම ප්‍රචන්ඩකාරිය්. එමෙන්ම අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න විවාහ වෙනකන් ලිංගික කාර්යයන්ගෙන් වැලකිය යුතු යැය් අනුමත කරන බොහෝ වෛද්‍යවරු එහෙම කරන්නෙ පදනමක් ඇතුව නෙමෙය්, තමන්ගෙ පෞද්ගලික මත නිසා. ඒක හරියට සීනි වලින් දිය වැඩියාව හැදෙන්න පුලුවන් නිසා සම්පූර්නයෙන් සීනි පරිභෝජනය නැවැත්විය යුතුය් වගේ කතාවක්. අනවශ්‍ය ගැබ් ගැනීම් වලට විසඳුම උපත් පාලන ක්‍රම. නමුත් අවාසනාවට පාසල් වලටත් දෙමව්පියන්ටත් ලිංගිකත්වය කුනුහර්පයක්, ඒ නිසා ලමයින්ට උපත් පාලන ක්‍රම ගැන වගේම ලිංගිකව එක්වීමේදී තමන්ට ඇති වගකීම ගැන අධ්‍යාපනයක් ලැබෙන්නෙ නැහැ. කන්‍යාභාවය පූජනීය දෙයක්ය, එය නැති විය යුත්තේ විවාහය නමැති නීත්‍යානුකූල බැඳීමට එකඟ වීමෙන් පසුව පමනක්ය යන මතය අපේ රටේ බහුතරයක්  වෛද්‍යවරු පවා දැරීම අවාසනාවට කාරනයක්. 

කාම චිත්‍ර පටි, ගනිකා වෘතිය පවතින්නෙ ඒවට ඉල්ලුමක් පවතින නිසා. මිනිස්සු තමන්ගෙ ලිංගික ෆැන්ටසි තෘප්තිමත් කර ගන්න කාම චිත්‍රපටි පාවිච්චි කරනව. තමන්ගෙ ෆැන්ටසිය වෙනුවෙන් අපචාර වල නිරත වීමට වඩා ඒ ක්‍රමය දහස් ගුනයක් හොන්දය්. කාම චිත්‍රපටි තහනම් නැති රටවල් වල ලිංගික අපරාධ අඩු ඒ නිසය්. ගනිකා ව්‍යාපාරය කියන්නෙ සියයට සියයක් හොන්ද, කිසිම නරකක් නැති ක්‍රමයක් නෙමෙය්. හැබැය් මුදලට ලිංගිකත්යව ගන්න බලන් ඉන්න පිරිස් වගේම එය සපයන්න සූදානමින් ඉන්න පිරිස් සමාජයෙ ඉන්නකන් ඒ ක්‍රමය නැති කරන්න බැහැ. ලෝකෙ කිසිම රටක් ගනිකා වෘතිය නැති කරන්න සමත් වෙලා නැත්තෙ ඒ නිසය්. එම නිසා තහනම් කරපු පලියට ගනිකා වෘතිය නතර වෙන්නෙ නැහැ, හොරෙන් හරි සිද්ධ වෙනව, ඉතින් කල යුත්තේ එය නීත්‍යානුකූල කොට පාලනයකට යටත් කිරීමය්. නැතිනම් වගකීම් රහිත ගනිකා ව්‍යාපාරයක් රට තුල හොරෙන්ම ‍ක්‍රියාත්මක වීමය් සිද්ධ වෙන්නෙ.

නමුත් තාමත් අපේ රටේ සදාචාරය ලඟා කර ගත හැකි එකම ක්‍රමය හැටියට දක්වන්නෙ ලිංගිකත්වය හැංගීම. අපිව ලොකු ලිංගික පීඩනයනට ඒ ක්‍රමය ලක් කරල. ඒ පීඩනය වහගන්න ආපහු අපි බොරු සංස්කෘතියක් දේශනා කරනව, ඉතින් අපේ සමා‍ජෙ ලිංගික අසහනයේ චක්‍රයකට හව් වෙලා. ලිංගික ආසාවල් සංසිදවගන්න තියෙන හැම ක්‍රමයක්ම අවහිර කරල, අපිට වෙලා තියෙන්නෙ අපේම ඔලු ඇතුලෙ නිරුවත් රූප මවාගෙන අපිටම තනියෙන් ආතල් දීගන්න. නැත්තන් ඉන්නම බැරි තැන ජැක් එකක් ගහන්න. අපේ රටේ පිරිමි ගෑනු ඇඟ පේනවට අඳිනවට අකමැති අමුතුම ජාතියක්ද, නැහැ, තමන්ටම ලොකු බොරුවක් කර ගන්නෙ. දවසෙ අන්තිමට අපි හැමෝම මහ බොරු කාරයො වෙලා. අපිට රූපවාහිනියෙ පේන නිලියෙක්ගෙ කකුලකුත් මහා වින්දනීය දෙයක් වෙලා, නිලි ගනිකාවො මහ ලොකු ප්‍රවෘත්ති වෙලා. 

සදාචාර කල්ලි හැදිල වැලන්ටයින් තහනම් කරන්න කියනව, සමරන අයට හිරිහැර කරනව. පොලිසි වලින් සදාචාරය රකින්න හෝටල් වලට පනිනව. තමන්ගෙ දෙමව්පියන්ගෙන් බලෙන් ලැබුනු ආගම ආභරනයක් කර ගත්තු සංස්කෘතිය කොය් වෙලාවෙත් කටෙන් බේරෙන අය්යල මල්ලිල කවුරුත් රෑට කරන්නෙ රූපවාහිනියෙ හරි අන්තර්ජාලෙ හරි පිහිටෙන් ස්වයං වින්දනයට රෑපයක් හොයාගන්න එක. රියැලිටි ටීවී වැඩසටහන් වල ගෑනියෙකගෙ බඩක් කකුලක් පෙන්නන කල් කටවල් ඇරන් බලන් ඉන්න එක, අන්තර්ජාලයෙ කොට ගවුමක් දැක්කොත් කුනුහර්පෙන් කමෙන්ට් කරල, සංස්කෘතිය විනාශ කිරීමේ චෝදනාවට ලක් කරල, කාටත් හොරෙන් ඒක දිහාම බලාගෙන ආසාව සංසිඳවගන්න එක. ඕක තමය් අපේ රටේ තාරුන්‍යය. අපේ ලිංගිකත්වය තනිකර රැඳිල තියෙන්නෙ රූපවාහිනියෙය්, අනතර්ජාලයෙය්, අපේ අතෙය්. ඒක ලිංගික අධ්‍යාපන ක්‍රමයක් යටතේ ගැහැනුන්ගෙන් වෙන්ව හැදෙන අපේ රටේ පිරිමින්ට ගැහැනිය ලිංගික සෙල්ලම් බඩුවක් බවට පත්වෙලා, ලිංගිකව එක් වීමෙන් ආදරය ඉවත් වෙලා, ගැහැනිය කියන්නෙ හැඟීම් දැනීම් නැති බස් එකේ යන ගමන් හේත්තු වෙන්න තියෙන භාන්ඩයක් බවට පත්වෙලා. කොටට අඳින ගෑනු වල් ගෑනු කියල හිතන්න අපිව පුරුදු කරල. පිරිමින්ගෙ හැඟීම් ඇවිස්සෙන විදියට ඇඳුම් අඳින ගෑනුන්ට වෛර කරන්න පුරුදු කරල, ගෑනුන්ව වැරදි කාරයො කරල. ලිංගික ආසාවල් යටපත් කරගැනීම නෙමෙය් කාටවත් හිරි හැරයක් නැති විදියට ඒව විඳගැනීමය් සමා‍ජෙටත් තමන්ටත් වඩා හොන්ද කියල අ‍පි තවමත් තේරුම් අරන් නැහැ. අපි කවුරුත් මොනව කිව්වත් ලෝකෙ හැම රටකම මිනිස්සු වගේ අපිත් හිත් ඇතුලෙන් මහම මහ වලත්තයො ටිකක් කියල පිලිගන්න අපි තවමත් සූදානම් නැහැ. ඉතින් අපි ස්වයං වින්දනය කරමු, ආඩම්බරෙන්. හැබැය් ස්වයං වින්දනයෙ අන්තිමට දැනෙන්නෙ මහම මහ කාලකන්නි තනිකමක්. ඒ තනිකමත් අපිට ආඩම්බරයක්.







Tuesday, November 1, 2011

භාන්ඩ වලට සරිලන ‍අවශ්‍යතා සපයනු ලැබේ



උදේ පාන්දර පාර දිහා බැලුවොත් පේන්නෙ එක හැල්මෙ දුවන මිනිස්සු. එක එක පැති වලට එක එක විධියෙ මිනිස්සු දිවුවට ඔවුන් දුවන්නෙ එකම දෙයක් පස්සෙ, “මුදල්”. කට්ටියක් රැකියා වලට යනව, කට්ටයක් ඉගෙනීමේ කටයුතු වලට යනව, ලොකු උනන්දුවකින්. ඔවුන් ගමන් මලු ඇතුලෙ මොනව දාගෙන ගියත් හිත ඇතුලෙ අරන් යන්නෙ බලාපොරොත්තු. හවසට ඔය හැමෝම ආපහු ගෙදර එන්නෙ දුවල දුවල හොන්දටම හති වැටිල. පුලුවන් තරම් ඉගෙන ගන්නෙ වැඩි පඩි රස්සාවක් ලබා ගන්න. රස්සාවට යන්නෙ පඩිය අඩු නැතිව ලබා ගන්න. පඩිය අඩු උනොත් මුදල් අඩු වෙන්න පුලුවන්, මුදල් අඩු උනොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙන්න පුලුවන්, එතකොට සතුට අඩුවෙන්න පුලුවන්. ඒක තමය් අපිට තියෙන ලොකුම බය.

ස්ටීව් ‍ජොබ්ස් මිය ගිහින්. ලෝකෙ පුරා විසිරිලා හිටපු මිනිස්සුන්ගෙ අවධානය එක තැනකට ගත්තු තවත් ආරංචියක්.  තමන්ගෙ අතීතෙත් එක්ක සටන් කරල දිනපු, ඒ හරහා ලෝකෙටම ආදර්ශයක් දුන්නු ස්ටීව් ජොබ්ස්ට පිලිකාවට පැරදෙන්න සිදුවීම කනගාටුදායකය්. නමුත් ඔය ප්‍රවෘත්තිය පැතිරී යාමත් එක්ක අපූරු දෙයක් සිද්ධ වෙනව. ෆේස්බුක් වගේ සමාජ ජාලා වෙබ් අඩවි වල ලක්ෂ ගනනින් ශෝක පනිවිඩ සටහන් වෙනව,  සාමාන්‍ය ජනතාව පමනක් නෙමෙය් ප්‍රසිද්ධ පුද්ගලයන් පවා රූපවාහිනියෙන් ශෝකය පල කරනව. ඔවුන් හැමෝම කියන්නෙ ස්ටීව් ජොබ්ස් ‍ලෝකයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක් කියල, ඔහු මිනිස්සුන්ගෙ ජීවිත වඩාත් පහසු කලා කියල, ඔහු වීරයෙක් කියල.  ස්ටීව් ජොබ්ස්ට මිනිස්සු මෙච්චර ආදරේ කලේ ඇය්?


ස්ටීව් ජොබ්ස් දක්ශ ව්‍යාපාරිකයෙක්, ඔහු කලේ තාක්ෂනයේ තිබ්බ රළු දැඩි ගතිය ඉවත් කරල එය දිලිසෙන සුමුදු ඇපල් ගෙඩියක් බවට පත් කරපු එක. ඔහු මෙවලම් වලට වඩා නිර්මානය කලේ සෙල්ලම් බඩු, හැදුනු වැඩුනු මිනිස්සුන්ව සතුටු කරන සෙල්ලම් බඩු. මිනිස්සු කෝටි ගනනින් ආකර්ශනය කරන්න ඔහුගේ හැම නිශ්පාදනයකටම හැකි උනා.  පහසුකම් අතින් වැඩි වෙනසක් නොතිබුනත්, තමන් සතුව තිබුනු දුරකථනයෙ අඩුවක් නැති උනත්, නිශ්පාදන වියදමට වඩා තුන් ගුනයක් පමන මිල වැඩි උනත්, iphone  අලුත්ම සංස්කරනය නිකුත් වෙනකන් හැමෝම සල්ලි මිටි ගනන් ලෑස්ති කරගෙන බලන් හිටිය.  Apple නිශ්පාදන වල මිල දැරීමට නොහැකි මිනිස්සු පවා ඔවුන්ට අඩු මුදලට එකම අවශ්‍යතාව සපුරන භාන්ඩ මිලදී ගන්නට පුලුවන් කම තියෙද්දිත් Apple නිශ්පාදන මිලදී ගත්ත. 

මෙය Apple නිශ්පාදන වලට පමනක් සීමා උනු දෙයක් පමනක් නෙමෙය්. මිනිස්සු එක එක වෙලඳ නාම යටතෙ එන නිශ්පාදන පස්සෙ හඹා යනව. ලංකාවෙ වගේ මිලදී ගැනීමෙ හැකියාව අඩු ඉන්න මිනිස්සු රටක පවා පවතින්නෙත් ඔය ක්‍රමයමය්. තමන්ගෙ මාසික ආදායම වගේ දස ගුනයක් පමන වන නිශ්පාදන වලින් ගෙවල් පුරෝ ගෙන. සමහරක් ඒවට අවුරුදු ගානකින් අතක් තියපු පාටක් පේන්න නැහැ. පරිගනකය හෑම ගෙදරකටම අනිවාර්ය විසිතුරු භාන්ඩයක් වෙලා. ඒව පිටි පස්සෙ තියෙන්නෙ මාස ගනනක මහන්සිය, නැතිනම් ණය. එක කෙලින්  තිබ්බොත් ගෙදර පලලටත් වඩා වැඩි බිල් කන්දරාවක්. ගෙවන්න යන මුදල ජීවත් වෙන්න අවශ්‍ය ආහාර වලට වැය කරන කරන මුදලටත් වඩා වැඩියි. 

මානව ඉතිහාසයෙ මුල් අවධියෙදි පැවතුනේ මූලික අවශ්‍යතා කිහිපයක් විතරය්. ඔවුන්ට බඩගින්න නිවා ගන්න කරන්න තිබුනෙ  දඩයම් කිරීම විතරය්. එම නිසා ඔවුන්ට ආයුධ වල අවශ්‍යතාව ඇති උනා. කුඩා කන්ඩායම් වශයෙන් ජීවත් වුනු නිසා ඔවුන්‍ට සන්නිවේදනය කරන්න වගේම වින්දනය සඳහා අවශ්‍ය වුනේ සරල මෙවලම් කිහිපයක් පමනය්. නමුත් දැන් අපි පවුල් වශයෙන් බෙදිල, ලෝකය පිලිබඳ අපේ සංකල්පය විශාල වෙලා. අපිට තව දුරටත් දඩයම් කරන්න බැහැ. මේසයට කෑම  ගෙන්න ගන්න අපිට රස්සාවල් කරන්න වෙලා. ඒ වෙනුවෙන් අපිට ඉගෙන ගන්න වෙලා, තාක්ශනික මෙවලම් ලෝකයට අපිව බැඳල තබන තන්තුවක් වගේ. මූලික අවශ්‍යතා සපුර ගන්න කුඩා අවශ්‍යතා රැසක් සපුර ගන්න වෙලා. එම නිසා අපිට වැඩි වශයෙන් පරිභෝජනය කරන්න වෙනව. 

ප්‍රශ්නය පරිභෝජනය නෙමෙය්. අපේ අවශ්‍යතාවල් සපුරන්නේ නැති භාන්ඩ පරිභෝජනය කිරීමය්. අපි භාන්ඩ මිලදී ගන්නෙ අවශතාවල් සපුර ගන්න කියල අපි විශ්වාස කරන්න කැමතියි. නමුත් ඇත්තම හේතුව ඒකද? 19 වන ශතවර්ශයේදි කාර්මික විප්ලවයත් එක්ක විශාල වශයෙන් භාන්ඩ නිශ්පාදනය වෙනව. එහි ප්‍රතිපලයක් විදියට අඩු මුදලකට භාන්ඩ වෙලඳ පොලට එනව, නිවෙස් තුල භාන්ඩ එක් රැස් වෙන්න පටන් ගන්නව. නොයෙකුත් වෙලඳ නාම වෙලඳ පොල වගේම මිනිස්සුන්ගෙ හිත් ආක්‍රමනය කරන්න සමත් වෙනව. Consumerism, එහෙමත් නැතිනම් විශාල ප්‍රමාන වලින් භාන්ඩ පරිභෝජනය ආරම්භ වෙන්න ඔය විදියට. සම්පත් එකතු කිරීම, නිශ්පාදනය,බෙදාහැරීම,පරිභෝජනය,ඉවත ලෑම කියන පියවර පහෙන් සමන්විත ඔය ක්‍රියාවලියෙ සමාජයෙ පැවැත්මට වඩාත්ම බලපාන්නෙ බෙදාහැරීම සහ පරිභෝජනය. හැකි තරම් ලාබ ලබා ගැනීමේ අරමුනු ඇතිව භාන්ඩ නිශ්පාදන කරන සමාගම් වෙලඳ සැල් වලට භාන්ඩ බෙදා හරිනව. වෙලඳ සැලේ රාක්කයක ඉඩ අහුරගෙන පාරිභෝගිකයෙක් එනකන් භාන්ඩ බලන් ඉන්න අතරෙ ඇමක ඉන්න පනුවගෙ කාර්ය ඉටු කරන්නෙ වෙලඳ දැන්වීම්.

වෙලඳ දැන්වීම් කියන සංකල්පයෙන් ඉගෙන ගන්න පුලුවන් දේ බොහොමය්. ඒ වෙලඳ දැන්වීම් භාවිතා කරන උපක්‍රම වලින් අපිට අපි කව්ද වගේම සමාජයෙ අනිකුත් මිනිස්සුත් කව්ද කියල වටහා ගන්න පුලුවන් නිසා. වෙලඳ දැන්වීම් මුලින්ම ඉලක්ක කර ගන්නෙ ඉහල පන්තිය. ඒ ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි නිසා. වෙලඳ දැන්වීම් අපේ මනසෙ හිල් අතරින් රිංගල යන්න පාවිච්චි කරන ප්‍රධාන උපක්‍රමය තමය්, අදාල භාන්ඩයට අපේ ජීවතය වඩාත් යහපත් කිරීමේත්, අපිව සතුටෙන් තැබීමේත් හැකියාව තිබෙනව කියන අදහස. එහෙමත් නැතිනම් ඔබ මිලදී ගන්නා භාන්ඩය සමාජය තුල ඔබව නිර්වචනය කරන සාධකයක් කියන අදහස. ඔබේ ආකල්ප, ඔබේ කලාත්මක අදහස් ලෝකයට පෙන්වන්න ඔබට භාන්ඩ අවශ්‍යය් කියන අදහස. වෙලඳ දැන්වීම් වල මෝටර් රථ වල නැගල යන, සතුට මුහුනෙ හැම පේශියකින්ම බේරෙන පවුල් පෙන්නන්නෙ ඒ නිසා. සුවඳ විලවුන් වලින් පහසුවෙන් ලිංගික සහකරුවෙක් ලබා ගන්න පුලුවන් බව පෙන්නන්නෙ ඒ නිසා. Ringing tone එකකින් ඔබේ රසාස්වින්දනය පෙන්වන්න පොලඹවන්නෙ ඒ නිසා. 

මුදලින් අඩු පාඩුවක් නැති ඉහල පන්තිය අදාල භාන්ඩයේ මුල්ම ගැනුම් කරුවො වෙනව. රටක පහල ස්ථරය ඉන්නෙ තමන්ගෙ සමාජ තත්වය ඉහල දමා ගැනීමේ අරගලයක. ඔවුන් විශ්වාස කරනව ඉහල ස්ථරය අනුකරනය කිරීමෙන් තමන්ගෙ සමාජ තත්වය ඉහල දමා ගන්න පුලුවන් කියල. ඒ සඳහා ඔවුන් කරන්නෙ ආර්ථිකව අපහසු උනත් ඉහල සමාජ ස්ථරයේ සිටින පුද්ගලයන් මිලදී ගන්නා භාන්ඩ මිලදී ගැනීමට පෙලඹීම. Credit card සමාගමුත් ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනව. හරියට කොටියෙක් මුවෙක්ව ග්‍රහනය කරගන්නව වගේ. බලන් ඉන්න කෙනාට පේන්නෙ කොටිය බොහොම ආදරෙන් මුවාව බදා ගන්නව වගේ, ඒත් කොටිය කරන්නෙ බෙල්ලෙන්ම අල්ල ගන්න එක. ලංකාවෙ  සුපිරි අවන්හල්, ඒ වගේම අග නගරය ආශ්‍රිත සුපිරි වෙලඳ සැල් ප්‍රචලිත වෙන්න ඔය හේතුව විශාල ආකාරයෙන් බලපෑව.  එම නිසා රටක ජීවන රටාව තීරනය කරන්නෙ ඒ රටේ ඉහල පන්තිය. ඊට පස්සෙ ක්‍රමයෙන් අදාල භාන්ඩය පහල සමාජ තල වලට කාන්දු වෙනව. ඒ සමාජ තලයේ බහුතරයක් අතට අදාල භාන්ඩය පත් වුනාට පස්සෙ, සුලුතරයට ඉබේම පීඩනයක් එනව ඒ භාන්ඩය මිලදී ගන්න. මොකද සමාජයෙන් කොන් වීම අපිට තියෙන ලොකුම බයක්. උදාහරන ජංගම දුරකථනය. නමුත් හැම පන්තියකටම ඔය කියන භාන්ඩය කාන්දු උනාට පස්සෙල ඉහල ස්ථර වල ඉන්න අයට ඒ භාන්ඩය තමන්ගෙ පන්තිය පෙන්වීමට යොදා ගන්න බැරි වෙනව. " දැන් ෆෝන් එකත් බල්ලට ගිහින්" වගේ කතා ඇහෙන්නෙ ඔය හේතුව නිසා. 

ලංකා‍‍වෙ බහුතරයක් නරඹන රූපවාහිනී නාලිකා වල වැඩසටහන්, මෙගා නාට්‍යය ඇතුලුව, සුපිරි ජීවිත ගත කරන මිනිස්සුන්ව පෙන්නන්නෙ මිනිස්සු අතර සහජයෙන් තියෙන ඔය ආසාව අවුස්සන්න. උදාහරනයකට සිරස නාලිකාවෙ විකාශය වන සුභාසිරි කියන වැඩසටහනෙ පෙන්වන්නෙ අධික මුදලක් වැය කරල පවත්වන විවාහ උත්සව. සිරස කියන්නෙ ඔය තරම් මුදල් වියදම් කිරීමේ හැකියාවක් තියෙන මිනිස්සු බලන නාලිකාවක් නෙමෙය්, රටේ සාමාන්‍යය මිනිස්සු බලන නාලිකාවක්. ඒ වගේම උදේ පාන්දර සියලුම නාලිකා ආක්‍රමනය කරන නූතන බෙහෙත් තෙල් වෙලෙන්දන්. ඔබ මහතනම් කැතය්, කලු නම් කැතය් කියල පෙත්තක් විකුන ගන්න ඔබේ ආත්ම අභිමානය බිඳිනව. වෙලඳ නාම අනුගමනය කරනව, ශ්‍රද්ධාවෙන්, නිකුත් කරන ඕනම භාන්ඩයක් මිල හෝ ප්‍රමිතිය ගැන නොහිත තමන් සතු කරගන්නව.

මිල දී ගැනීමෙන් ඇත්තටම අපිට සතුටු වෙන්න පුලුවන්ද?
Americans become unhappy and vicious because their preoccupation with amassing possessions obliterates their loneliness. This is why production in America seems to be on such an endless upward spiral: every time we buy something we deepen our emotional deprivation and hence our need to buy something.Philip Saltier

ඔහු මතු කරල තිබෙන කාරනාව ඇමෙරිකාවෙ විතරක් නෙමෙය් පෟතුවි කබොල්ල මත ජීවත් වෙන අපි හැමෝටම අදාලය්. අපි යමක් මිලදී ගන්න කොට අපිට නොදැනිම අපි "නැහැ" කියන මානසික බොත්තම ඔබනව. අපි හැමතිස්සෙම හිතන්නෙ නැති දේ ගැන. තව තවත් මිලදී ගන්න ඒ හැඟීම අපිව පොලඹවනව. තනි කමින් බැට කන මිනිස්සු තමන්ගෙ තනි කම දුක මකා ගන්න භාන්ඩ පාවිච්චි කරල ඒ භාන්ඩ එක්ක තව තවත් තනි වෙනව, තව තවත් දුක් වෙනව. මිලදී ගන්න භාන්ඩ කැඩුනම නැවත කොටස් මිලදී ගන්න වෙනව.මේ නිසා අපි කොච්චර මිලදී ගත්තත් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. අපේ මේ ඇබ්බැහිය අපේ ආත්ම විශ්වාසය නැති කරනව, අපිව මානසිකව වට්ටල වෙනමම පුද්ගලයෙක් බවට පත් කරනව.  සමාජීය වශයෙන් අපි හැමෝම වැඩියෙන් මුදල් අතට ගන්න ලොකු දුකක් විඳිනව. ලස්සන සැප පහසු පුටුවක් මිලදී ගන්න කන්තෝරුවෙ කසි කබල් පුටුවෙ ජීවිතේ වැඩි කාලයක් කට්ට කනව. අපිව ණය කාරයො බවට පත් වෙනව. ඒ වගේම ස්වාභාවික සම්පත් ලබා ගැනීමේදීත්, නිශ්පාදනයේදීත්,භාන්ඩ ඉවත ලෑමේදීත් විශාල වශයෙන් පරිසරයට හානි සිදු වෙනව.ගෙදර තියෙන බඩු සේරම විසික් කරල දාල කැලේකට ගිහින් දඩයම් කරන එකවත්, සමාජ වාදියෙකු වෙලා ධනවාදයට එරෙහිව සටන් කරන එකවත් නෙමෙය් විසඳුම. පරිභෝජනය කියන්නෙ අපේ ජීවිතය ගැන වගකීමක් කියන කාරනාව තේරුම් ගත යුතුය්. 
සමාජවාදීන් මේ ක්‍රමයට විසඳුමක් හැටියට සමාජවාදී ආරථික ක්‍රමයක් යෝජනා කලත්, අපි හැඟීම් වලින් මිලදී ගැනීම නතර කොට බුද්ධියෙන් මිලදී ගැනීම ආරම්භ කරනකන්, මොන ආරථික ක්‍රමයටවත් විසඳුමක් වෙන්න බැරි වේවි. ‍අපි ව්‍යාපාරිකයන්ගෙ අත කොලුවක් නොවී, මිලදී ගන්නා භාන්ඩ වලින් සපුරන නියම අවශ්‍යතා‍වය, එහි මිල හා ප්‍රමිතිය ගැන දෙවරක් සිතිය යුතුය්. අපි අපේ අවශ්‍යතා මිස, ව්‍යාපාරිකයො විසින් අපිට හදල දෙන අවශ්‍යතා සපුරන්නට උත්සහ දැරුවොත් වෙන්නෙ කවදාවත් ඉවර වෙන්නෙ නැති, හති වට්ටන ක්‍රියාවලියක කොටස් කාරයෙක් වෙන්න, භාන්ඩ වලට අපිව අලෙව් කරන්න. 

ඔබ සතුව තියෙන භාන්ඩ වලින්වත්, ඔබේ රැකියා‍වෙන්වත් ඔබ කව්ද කියල තීරනය වෙන්නෙ නැහැ. එම නිසා ඔබේ ප්‍රතිරූපය හදාගන්න කාගෙවත් සාක්කු පුරවන්න අවශ්‍ය නැහැ. කාටවත් ගන්න බැරි ඔබේ අදහස් තමය් ඔබ කව්ද කියල තීරනය කරන්නෙ. ඔබේ ආකල්ප ලෝකයට පෙන්වන්න කලාව භාවිතා කරන්න. විවිධ වැකි සහිත ඇඳුම් මිලදී ගන්නවට වඩා, Ringing tone භාවිතා කරනවට වඩා ඒ ක්‍රමය සාර්ථකය්. එයින් ඔබට වගේම ඔබේ අදහස් වලටත් වටිනාකමක් ලැබෙනව. නමුත් ලෝකයේ බොහෝ දේවල් වලට වගේම consumerism වලටත් හොන්ද පැත්තක් තියෙනව. රටක ආර්ථිකය ඉහල දැමීමේ හැකියාව, හඳුන්වාදීම් වලට මිනිස්සු පෙලඹවීම, රැකියා අවස්ථා බිහි කිරීම එයින් කිහිපයක්. නමුත් ඔය රැකියාවල් වල නිරත වෙන මිනිස්සු ලස්සන දිලිසෙන භාන්ඩ කිහිපයකට ඔවුන් උපයන සියලුම මුදල් පූදල් පූජා කලොත්, වැඩි වැඩියෙන් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් වැඩි වැඩියෙන් වෙහෙසුනොත්, අවසාන ප්‍රථිපලය වෙන්නෙ අසතුට, මානසිකවත් ආර්ථිකවත් සාමාජීයවත් පුද්ගලයා පිරිහීම. රටක ආර්ථිකයත් ඉහල දැමීමටවත්, නව නිර්මාන දිරිමත් කරන්නවත්, ඔබේ සතුට, පරිසරය බිල්ලට දීම අසාධාරන ක්‍රම වේදයක්. Ethical consumerism සංකල්පය බිහි වෙන්නෙ ඔය හේතුව නිසා. එය සමාගම් විසින් පරිසරයට අවම හානියක් කොට භාන්ඩ නිශ්පාදනය කිරීමට දෙන පොරොන්දුවක්. නමුත් තාමත් ඔබේ සතුට අනතුරේ.

 "ස්ටීව් ජොබ්ස්ට මිනිස්සු මෙච්චර ආදරේ කලේ ඇය්?". ඔහු සමාජයේ ඔඩු දුවල තිබුනු  පරිභෝජනවාදය කියන පිලිකාවෙන් හටගත්තු, සමාජය සමග පෑහී‍මේ අවශ්‍යතාවය කියන හිසරදයට ‍වේදනා නාශකයක් වූ නිසා. ලෝකයේ පලමු පරිගනක මූසිකය එලි දකිනව බලන් හිටපු ස්ටීව් කලේ එහි තිබුනු කාර්මික ගතිය ඉවත් කරල එය පාව්ච්චියට පහසු ආකර්ශනීය භාන්ඩයක් හැටියට නිශ්පාදනය කිරීම. iphone එකේ මිල අඩුවෙද්දි, හැම පන්තියටම එය මිලදී ගැනීමේ හැකියාව ලැබෙද්දි ස්ටීව් කලේ තවත් මිල අධික නව සංස්කරනයක් නිකුත් කරන එක. ඔහු කලේ තාක්ශනික භාන්ඩ තමන්ගෙ සාමාජීය තත්වය පෙන්නුම් කරන, පෞරුශය ඉස්මතු කරන දෙයක් බවට පත් කිරීම. ඔහු කලේ අවශ්‍යතාවයට සරිලන භාන්ඩ නිර්මානය කිරීම නෙමෙය්, ඔහුගේ භාන්ඩ වලට සරිලන අවශ්‍යතා මිනිස්සු තුල නිර්මානය කිරීම. ඔහුට එහෙම කරන්න හැකියාව ලැබුනෙ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ හැංගිලා තියෙන හිමි කර ගැනීමේ ආසාව සහ ඒ තුලින් තමන්ගේ මානය ඉහල දමා ගැනීමේ ආසාව නිසා. ඉතින් ස්ටීව් ජොබ්ස් මාධ්‍යයටත්, පාරිභෝගිකයන්ටත් වීරයෙක්. 

පරිගනක ලෝකයේ විප්ලවයක් කරපු C පරිගනක භාශාව සහ  UNIX නිර්මානය කරපු ඩෙනිස් රිචී මිය යනවිට ලෝකයෙන් අඩක්වත් ඔහු ගැන දැන සිටියෙවත් නැහැ. ඒ ඔහුගෙ හඳුන්වාදීම ආභරනයක් හැටියට මිනිස්සුන්ට භාවිතා කරන්න බැරි වූ නිසා. ඒ අතින් බලන කල ස්ටීව් නිර්මානශීලී, දක්ශ ව්‍යාපාරිකයෙක්. ඔහු කලේ ව්‍යාපාරිකයකු කල යුතු දේ. ඔහු ලෝකයට ව්‍යාපාරයක් කරන හැටි ගැන ඉගැන්නුව, තාක්ශනය දිහා වෙනස් විදියට බලන්න ව්‍යාපාරිකයන්ව හුරු කලා. එම නිසා ඔහු ‍ගෞරවය හිමි විය යුතු පුද්ගලයෙක්. නමුත් ඔහු ලෝකය වෙනස් කරපු, ‍මිනිස් සංහතියට අති විශාල සේවයක් කරපු පුද්ගලයෙක් හැටියට නම් වීම අපේ සමාජය ගැන එක් යථාර්තයක් හෙලි කලා. ව්‍යාපාරිකයට වන්දනාමාන කරන තත්වයට පාරිභෝගිය පත්වෙලා. ආගමික ශාස්තෟවරයෙක්ගෙ තත්වයට ව්‍යාපාරිකය පත් වෙලා. උපාධියක් වත් නොමැතිව ජිවන අරගලයට මූන දීල ජයගත්තු ස්ටීව් ලෝකෙන් සමුගත්තෙ අපි කාටත් අධ්‍යාපනය ගැන, ‍උත්සහය ගැන පාඩම් රැසක් කියා දීල. නමුත් බහුතරයක් ස්ටීව් ජොබ්ස්ව වන්දනා මාන කලේ ඔහු පුද්ගලයෙක් හැටියට ඔවුන්ගෙ ජීවිත වලට දුන්න ආදර්ශය නිසා නෙමෙය්, ඔවුන්ග ජීවිත වලට අධික මුදලකට ඔහු දුන් විද්‍යුත් පරිපථ කිහිපයක් නිසා. ස්ටීව් ජොබ්ස්ගෙ මරනයට ලෝකය දක්වපු ඒ ප්‍රතිචාරය පෙන්නුම් කලේ මනුස්ස ජාතිය හැටියට අපි ඒ අන්දන් ඉන්න ඇන්දිල්ල. ඔව් ලෝකය වෙනස් වෙලා.




Tuesday, October 4, 2011

ඔබත් වහලෙක්ද?



ඔබ මේ මොහොතෙ මේ ලිපිය කියවනව. මේ ලිපිය කියවන්න ඔබ තීරනය කලේ ඇය්? කියවන්න වටින ලිපියක් කියල හිතුනු නිසාද? එහෙමනම් ඔබේ හිතට රිංග ගත්ත ඒ අදහස ආවෙ කොහෙන්ද? මගෙන්. ඒ කියන්නෙ ඔබ කැමති උනත් අකමැති උනත් මට පුලුවන් වෙලා තියෙනව මට උවමනා දේ ඔබ ලවා කරගන්න‍. ඔබ අන් අයගෙ අදහස් ඔබේ කියල හිතාගෙන ඔවුන්ගෙ උවමනා ඉෂ්ඨ කරන පුද්ගලයෙක්ද? ඔවුන් වෙනුවෙන් ඔබේ කාලය, මුදල් සහ ශ්‍රමය වැය කරන පුද්ගලයෙක්ද? එහෙම කිව්වම ඔබට කේන්ති යනවත් ඇති. ඒ උනාට ඔබ ජීවිත කාලෙ පුරාම කරල තියෙන්නෙ ඔය දේ නෙමෙය්ද? 

අපි මේ ලෝකෙට එන්නෙ කිසිම විදියක දැනුමක් හෝ අත්දැකීමක් නැතුව. අපි ඉපදුනු අලුත අම්මගෙන් කිරි උරා බොන්නෙ, අම්මගෙ ඇඟිල්ලෙන් අල්ල ගන්නෙ ‍දැනගෙන නෙමෙය්, අපේ ශරීරයෙන් දක්වන ප්‍රතිචාරයක් විදියට. ඒත් ඔහොම ටික කාලයක් යද්දි අපේ අවට ඉන්න පුද්ගලයො, අපේ දෙමව්පියො, ඔවුන්ට අවශ්‍ය විදියට අපිව හසුරවන්න එක එක සම්මතයන් අපේ හිත් වලට ඇතුල් කරනව. වැඩිහිටියො එක්ක එකට එක කියන එක වැරදිය්, හය්යෙන් කතා කරන එක වැරදිය් වගේ අපි කරන දේවල් මැදින් ‍‍ඉරක් ගහල හොඳ නරක කියල පැති දෙකකට බෙදනව. නරකය් කියන දේවල් කරන්න එපා කියනව, කලොත් දඬුවම් කරනව.  තර්ක කරන්න තරම් බුද්ධියක් නැති දරුව එක්කො ඔය දඬුවම වලට බයේ,  නැත්තන් වැඩිහිටියන් සතුටු කරල වරප්‍රසාද හිමි කර ගන්න ‍අරමුන ඇතුව “නරක” නොකරන්නත් “හොඳ” කරන්නත් පුරුදු වෙනව. ඔය අතරෙ ගොඩක් දෙමව්පියො හොඳ නරක ලැයිස්තුව ට අලුතෙන් දේවල් හඳුන්වා දෙන්නත් අමතක කරන්නෙ නැහැ. අර පොතට වඳින්න, මේ පිලිමෙට වඳින්න, එහෙම කලොත් මේව ලැබෙනව, ඒව  පිලිගත්තෙ නැති උනොත් දුක් විඳින්න වෙනව කියල ලමයගෙ මනසට ඇතුල් කරනව. අපි අයිති අහවල් පන්තියට, අහවල් ජාතියට, අපි ඉන්න ඕනෙ මේ විදියට කියල සම්මතයන් හදල දෙනව. යමක් අත්හදා බලල ඒකෙ ප්‍රථිපල අනුව යමක නිරත වෙන්නත්, එයින් වැලකෙන්නත් පුරුදු වෙන්නෙ කලාතුරකින්. 


ඊට පස්සෙ මේ දෙමව්පියො කරන්නෙ තමන්ගෙ අදහස් වලට ගැලපෙන අදහස් දරුවන්ට කවන පාසලකට දරැවව ඇතුල් කරන එක. පාසලෙන් දැනුම දෙන අතරෙම විවිධ මත හිතට ඇතුල් කරනව. ගුරුවරුන්ගෙ පෞද්ගලික මත වලින්, පාසල නියෝජනය කරන ආගමික හා ජන වර්ග වලට අයිති මත වලින් ඔවුන්ව වහල දානව. අවුරුදු ගනනාවක් බිත්ති හතරකින් වට කරල තමන්ට අවශ‍්‍ය විධියට ඔවුන්ව හැඩ ගස්සනව. ඔය බිත්ති හතර ඇතුලෙ නිර්මානය වෙන්නෙ එකම අදහස් තියෙන පිරිසක් නිසා තමන් විශ්වාස කරන දේ ගැන විමසන්න ඔවුන්ට උවමනාවක් ඇති වෙන්නෙ නැහැ. 

ඔය විධියට විශ්වාස ගොඩක් කරපින්න ගෙන තරුන වයසට එන පුද්ගලය ඊලඟට ව්‍යාපාරිකයන්ගෙ ඉලක්කයක් බවට පත්වෙනව. තරුනයෙක් නම් මේ දේවල් මිලදී ගන්න, මේ විදියෙ පෙනුමක් තියෙන්න ඕනෙ, තරුනියක් නම් සුදු වෙන්න ඕනෙ, මේ විධියෙ රූපවාහිනී වැඩසටහන් බලන්න ඕනෙ, ඔබ මේ පන්තියෙ කෙනෙක් නම් මේ තැන් වලට යන්න ඕනෙ, මේ කෑම කන්න ඕනෙ ආදී වශයෙන් ඔවුන් ජීවන රටාවල් ටිකක් හදල දෙනව. කවුරු හරි රෑපවාහිනියෙ මේ දේ හොන්දය් කියල කිව්වොත්‍, ඒ දේ මිල දී ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නව. එහෙමත් නැත්තන් නිකමට වගේ පාවිච්චි කරල බලන්න ගන්නව. පුවත්පතක තියෙන ඕනෙම දෙයක්, රෑපවාහිනියෙ පෙන්වන ඕනෙම දෙයක් ගැන විශ්වාසය තබනව. 

දේශපාලනය ගැන උනන්දුව ඇති වෙන 
වයසට ‍ආවම දේශපාලකයන්ගෙ ඉලක්කයක් බවට පත් වෙනව. දේශපාලකයො දන්නව ඔබේ හොඳ නරක ලැයිස්තුව හැදිල තියෙන්නෙ මොනවයින්ද කියල, ඔවුන්ට පුලුවන් ඔබ හදාගෙන තියෙන ආගම, ජාතිය, පන්තිය වගේ ලේබල් දිහා බලල ඔබේ ඔලුව ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල හරියට අනුමාන කරන්න.මොකද ඔවුන් දන්නව එක වගේ බිත්ති හතරක් ඇතුලෙ හැදෙන්නෙ එක වගේ විශ්වාස තියෙන මිනිස්සු කියල. ඔවුන් අපේ විශ්වාස පාවිච්චි කරල අපිට අලුත් විශ්වාස හදල දෙනව. 

සමහරු කියනව දෙවියො ඉන්නව කියල, ඔවුන් හරි කියල ඔප්පු කරන්න, අනුන්වත් එහෙම හිතන්න පොලඹවන්න නොකරන දෙයක් නැහැ. තව අය දෙවියො නැහැ කියල ‍කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනව. සමහරු කියනව අපේ ජාතිය තමය් උසස් කියල, කට්ටියක් කියනව හැමෝම එක සමානය් කියල. සමහරු කම්කරු පන්තිය දිනවන්න වලි කද්දි කට්ටියක් කියනව ධනවාදෙ නැතුව බැහැ කියල. සමහරු තමන් කැමති දේශපාලකය, තමන් කැමති පක්ෂෙ වෙනු‍වෙන් මැරෙන්න උනත් ලෑස්ති වෙලා ඉන්නව. තවත් රටක දේශපාලකයො පන්නන්න මිනිස්සු මැරුම් කනව. අපි හැමෝටම ප්‍රියතම කෑම ජාතියක්, බීම ජාතියක්,  කැමති ජංගම දුරකතන වෙලඳ නාමයක්,  කැමති අවන්හලක් තියෙනව. කැමති ගායකයෙක්, නලුවෙක් ඉන්නව. කැමතිම රූපවාහිනී නාලිකාවක්, වැඩසටහනක් තියෙනව. ඒ දේවල් වෙනුවෙන් මුදල්, ශ්‍රමය සහ කාලය වැය කරනව. අනිත් අයටත් ඒව අත්හදා බලන්න කියමින් නොමිලේ වෙලඳ දැන්‍වීම් සපයනව. 


මේ ලිපිය ලියන මමත්, ලිපිය කියවන ඔබත් කොපමන විශ්වාස හා මත දරනවද? ඒ උනාට අපි කීයෙන් කී දෙනාද අපෙන්ම අහන්නෙ, “ඇය් මම විශ්වාස කරන දේවල් මම විශ්වාස කරන්නෙ?”. වහලෙක් තම ස්වාමිය වෙනුවෙන් ටොන් ගනන් බර අදිනව, ඒ උනාට හම්බෙන්නෙ යන්තන් කුස පුරවගන්න කෑම ටිකක් විතරය්. ඇත්තටම ඔබෙත් මගෙත් විශ්වාස වලින් වැඩි වාසි ලබන්නෙ කවුද? අපි දන්නෙම නැතුව අපි මාධ්‍ය කාරයො වෙනුවෙන්,  ව්‍යාපාරිකයො වෙනුවෙන්, දේශපාලකයො වෙනුවෙන් බර අදිනව. ඔවුන් අපේ මුදල්, ශ්‍රමය, කාලය ඉන්ධනයක් කරගෙන ඔවුන්ගෙ අරමුනු වෙත ලං වෙනව. ඔවුන් කරන්නෙ ඔවුන් ගෙ අදහස් අපේ අදහස් කියල අපිට අඟවන එක. අපි කරන්නෙ අපිට අවශ්‍ය දේ කියල අඟවන එක. නමුත් යථාර්තය නම් අපි කරන්නෙ ඔවුන්ට අවශ්‍ය දේ. 

අපි අපේ හොඳ නරක ලැයිස්තුවට සමාන ලැයිස්තු නැති මිනිස්සු එක්ක හැප්පෙනව, අපේ දේ තමය් හොඳම කියන්න අපි දඟලනව. අනුන් අපේ මොල වලට ඇතුලු කල දේ තේරුමක් නැතුව ඔහේ ගිරව් වගේ නැවත නැවත කියවනව. අපි මේ ක්‍රමයට කොච්චර හුරු වෙලාද කියනවනම් ඒක අපිට ආඩම්බරයක්. කවුරුවත් හොන්ඳය් කියන දේ මිල දී ගන්න එක අපිට ආඩම්බරයක් . අපේ ජාති ආගම් පන්ති පට්ටම් අපිට ආඩම්බරයක්. අනුන් කියන දේ අහල අනුන් වෙනු‍වෙන් බර අදින එක අපිට ආඩම්බරයක්. අපි ආඩම්බරකාර වහල්ලු. තමන් වහල්ලු කියලවත් නොදන්න වහල්ලු. 

ප්ලේටො මිනිස්සුන්ව සමාන කරන්නෙ ගුහාවක් ඇතුලෙ අඳුරෙ දම්වැල් වලින් බැඳල දාලා තියෙන, බිත්තියෙ තියෙන හෙවනැලි දිහා බලල සතුටු වෙන, ඒවට වටිනා කම් දෙමින්, ආලෝකයට යන්න උවමනාවක් නැතුව ජීවත් ‍වෙන පිරිසකට. අපිට නොතේරෙන්න අපිව ‍දම්වැල් ගොඩකින් බැඳලය් තියෙන්නෙ. අපේ මනස දම්වැල් වලින් බැඳල අනුන්ට අවශ්‍ය ‍විධියට අපිව මෙහෙයනව. කුඩා කාලෙදි විමසා බලන්න තියෙන හැකියාව අඩු නිසා හැම දෙයක්ම පිලි ගත්තත් අපි බුද්ධියෙන් පරිනත උනාට පස්සෙ කරන්නෙත් ඔය ටිකමය්. අපි විශ්වාස කරන ගොඩක් දේවල් විශ්වාස කරන්නෙ විශ්වාස කරන පලියට. ඒකය් පොඩි ලමයෙක් "ඇය් ඒ" කියල ඇහුවම අපිට උත්තර නැති වෙන්නෙ. පොඩි ලමය් අපිට සවන් දෙන්න සූදානමින් ඉන්නෙ. නමුත් අපි, අපි හරියි කියන ස්ථාවරය දරනව, අන් අයට ඇහුන්කන් දෙන්නෙවත් ඔවුන්ගෙ මත වලට ගරු කරන්නෙවත් නැහැ. 

අපි පොඩ්ඩකට නැවතිලා අපි විශ්වාස කරන දේවල් වැරදි වීමේ සම්භාවිතාව ගැන හිතල බලන්නෙ නැහැ. අපිත් "ඇය් ඒ" කියල අපෙන්ම අහන්න පටන් ගන්න දවසට තමය් අපිට අපේ මනස හිර කරල තියෙන දම්වැල් පේන්න ගන්නෙ. අකමැත්තෙන් හරි අනුන්ගෙ මත වලටත් ඇහුන්කන් දුන්නොත් තම‍ය් අපි කරන වහල් කම් අපිටම තේරුම් යන්නෙ. එම නිසා ඔබට සමාන මත තියෙන අය සමග පමනක් සිටීම ස්වයං වින්දනයක් පමනය්, එතන ඉදිරියට යාමක් ඇත්තෙ නැහැ. ආගමිකයො, නිර්ආගමිකයො, ලිබරල්, ‍කන්සරෙටිව් කඳවුරු වලට බෙදිල අපි අපේ මත වලට සමාන මත තියෙන මිනිස්සු එක්ක අදහස් බෙදා ගන්න කොට අපිට ලොකු සතුටක් වගේම ආරක්ශාවක් දැනෙනව, ඒ අපි සමාන අදහස් තියෙන මිනිස්සු එක්ක ආපහු කොටු වෙලා නිසය්. ආරක්ශිත බවක් දැනෙන කඳවුරු වලින් එලියට එන්න. අපි කවුරුත් දැනුමෙන් පරිපූර්න නැහැ,  අපි හැමෝම "ඇත්ත" හොයන්නෙ අපි කවුරුත් ඇත්ත දන්නෙ නැති නිසය්. ඒ හේතුව නිසා අපිට කවදාවත් සම්පූර්නයෙන් විශ්වාස කියන දම්වැල් වලින් නිදහස් වෙන්න ලැබෙන්නෙ නැහැ. නමුත් අපි පුලුවන් තරම් නිදහස් විය යුතුය්, අඩුම තරමෙ අපි දම්වැල් වලින් බැඳිල ඉන්නෙ කියලවත් තේරුම් ගත යුතුය්. ඔබ ඔබව ඉලක්ක කරන අයගෙන් "ඇය් ඒ" කියල අහන්න පටන් ගන්න, ඔබ ඔ‍බේ විශ්වාස ලැයිස්තුව අරන් ඔබෙන්ම "ඇය් ඒ" කියල අහන්න පටන් ගන්න, ඔබේ විශ්වාස ඔබේ හිත ඇතුලට රිංග ගත්තෙ කොහෙන්ද කියල හොයා ගන්න උත්සහ කරන්න, එදාට තමය් ඔබ නිදහස් වෙන්නෙ. නිදහස් වන්න අකමැති උනත් තමන් බැඳල තියෙන දම්වැල් ගැන අවබෝධයෙන් ඉන්න, දම්වැ‍ලේ අනිත් කොනේ ඉන්නෙ කව්ද කියල තේරුම් ගන්න. එවිට ඔවුන්ට උවමනා විදියට ඔබේ විශ්වාස දම්වැල් ඔබව වහල් කමේ යොදවන්න පාවිච්චි කරන්න බැරි වේවි. කොහොම හරි ලිපියෙ අන්තිම වෙනකන් මම ඔබව රඳව ගත්ත නේද?