f

Tuesday, November 22, 2011

ෆේස්බුක් කැඩපත හරහා


අපිට අපි දිහා බලන්න, ඇස් වල තියෙන දුක සතුට, පාලුව දකින්න, අපිට අපිවම මතක් කරල දෙන්න කන්නාඩියකට පුලුවන්. ටික වෙලාවක් බලන් හිටියම තේරෙනව තමන්ගෙ හිතේ තමන් ගැන තියෙන රෑපෙ නෙමෙය් ඇත්ත රෑපෙ කියල. ‍කාලෙන් කලෙට ලංකාවෙ සමාජෙ අවධානය ගන්න මොකක් හරි දෙයක් එනව. දුරකථන ඇමතුම්, ‍කෙටි පනිවිඩ, නවීන ජංගම දුරකථන, ලංකාවෙ මිනිස්සු ඕවට ප්‍රතිචාර දක්වන විදියෙන් අපේ සමාජයෙ නියම ස්වරූපය දකින්න පුලුවන්. ඒ අලුත්ම කැඩපත තමය් 'ෆේස්බුක්'.

ඔය දේවල් මුලින්ම විකුනන්න පටන් ගන්නෙ මාධ්‍යය. සිරස ‍ රේඩියෝව ලංකාවෙ මුලින්ම දුරකථන ඇමතුම් වලින් ගීත ඉල්ලීමේ පහසුකම ලබා දෙනව. ‍ඊට හරියට දශකයකට විතර පස්සෙ කෙටි පනිවුඩ, එහෙමත් නැත්නම් sms අපේ සමාජය ආක්‍රමනය කරනව. කැමතිම ගීතය ඉල්ලීමේ ඉන්දන් රියැලිටි ටීවී වැඩසට‍හන් වල තමන් කැමතිම තරඟ කරුව තෝරනකන් ‍කෙටි පනිවුඩය පාවිච්චි කරන්න ප්‍රේක්ශකයට පුලුවන් වෙනව. මාධ්‍යයෙන් කරදරයක් නැතුව පහසුවෙන් අපිට ඕන දේ ගන්න, නැත්නම් තාක්ශනය පාවිච්චි කරන්න තියෙන ආසාව නිසා අපි ඔය පහසුකම් සලසන නාලිකා වෙත වැඩි අවධානයක් යොමු වෙනව. ඔය හැමදේටම සමාජයේ දැන උගත් යැය් සම්මත අයගෙනුත්, ඔවුන් කියන දේ එහෙමම පිලිගන්න පොඩ්ඩන්ගෙනුය් ලොක්කන්ගෙනුය් ලොකු විරෝධයක් එල්ල වෙනව. සංස්කෘතිය විනාශ වෙනව, තරුන පරපුර නොමග යනව, අධ්‍යාපනය කඩා කප්පල් වෙනව, හැමදාම ඇහෙන දේ.

ඔය හැම දෙයක්ම පහු කරගෙන ඇවිත් අද අපි නතර වෙලා තියෙන්නෙ ෆේස්බුක් වල. අපි ලොග් ඉන් වෙලා වොල් පෝස්ට් එකක් දාල ආපහු ලොග් අවුට් උනාට ඕක පිටිපස්සෙ වෙන්නෙ මාර්ක් සකර්බර්ග්ව ධනවත් කරන ව්‍යාපාරයක්. නමුත් අපිට තියෙන ප්‍රයෝජනෙන් අඩුවක් නැහැ. කෙනෙක්ට ලංවෙන්න දුරකථන අංකයක්වත්, ලිපිනයක්වත් අවශ්‍ය නැහැ, ඕන නම විතරය්. ඒ නිසා කාලයත් එක්ක අපෙන් වෙන්වුනු මිතුරො හොයාගන්න, ඔවුන්ව සම්බන්ධ කරගන්න, නැත්නම් කැමති සින්දුවක් වීඩියෝ එකක් පහසුවෙන් බෙදා ගන්න අපිට පුලුවන් වෙලා තියෙනව. ‍අන්තර්ජාල සබඳතා වල මිල අඩුවීමත් එක්ක අපේ දූපත් වැසියන්ට හරියට ආදී මානවයට ගින්දර හම්බුනා වගේ ෆේස්බුක් හම්බ වෙනව. එදා ඉන්දන් රේඩියෝ නාලිකා වල, රූපවාහිනී නාලිකා වල විතරක් නෙමෙය් මෙගා නාට්ටි වල පවා ෆේස්බුක් පට්ට ගහනව, හරියට ෆේසබුක් ප්‍රමෝට් කරනවට ගාස්තුවක් ලැබෙනව වගේ.

ඒත් එකක්ම ෆේස්බුක් බදා ගෙන ඉන්න පිරිසක් වගේම ෆේස්බුක් විරෝධියො පිරිසකුත් බිහිවෙනව.ෆේස්බුක් නිසා තරුන පරපුර නොමග යනව, අපරාධ වැඩි වෙනව, ඔවුන් කියන දේ. ෆේස්බුක් මේ අපිට පෙන්නන්නෙ අපේ මිනිස්සුන්ගෙ වෙනසට තියෙන බය. අපේ රටේ මිනිස්සු තනියෙන් හිතන්නෙ නැහැ, මේ නිසා ප්‍රසිද්ධියය් මහාචාර්ය පට්ටමකුය් තියෙන ඕනෙම කෙනෙකුට ලෙහෙසියෙන් මිනිස්සුන්ගෙ මොල හෝදන්න පුලුවන්. දේශපාලකයො ඉස්සර ඉන්දන්ම උපක්‍රමයක් හැටියට කලේ විරුද්ධවාදියගෙ මතයට මිනිස්සුන්ව බය කරන එක. මේ සිස්ටම් එක මෙහෙමම තියෙනකන් විතරය් උඹලට පැවැත්මක් තියෙන්නෙ, ඒක වෙනස් උනොත් උඹලගෙ සංස්කෘතිය, ආගම වලපල්ලට යාවි, රට බෙදේවි, ඔය විදියට මිනිස්සුන්ව භය කරන්න පුලුවන් හැකියාව තියෙන පුද්ගලය සාර්ථක දේශපාලකයෙක්.

මේ ක්‍රමයට හුරු වෙලාම අපේ බහුතරයක් ගතානුගතික වාදියො වෙලා, අපිට නුහුරු දෙයක් දැක්කම නයාට අඳුකොල කැවුන වගේ, නයිට් ක්ලබ් එකක් දැක්කම කෑගහනව, අපේ තරුන පරපුර විනාශ වෙනව, රටේ සංස්කෘතිය වලපල්ලට යනව. ජංගම දුරකථනයට බනිනව, ඒක මිනිස්සු වල් වද්දන මහම මහා කුනුහර්ප යන්ත්‍රයක් ලු. ඉස්සර කාලෙ තරුනයොන්ට ලිංගික දර්ශනයක් බලන්න ඕන උනාම පත්තර ගන්න සිද්ධ උනා, නැත්නම් වීඩියෝ කැසට් ගන්න උනා. ඒව හංගන්න අමාරුය්, බෙදා හදාගන්න අමාරුය්, ලේසියෙන් හව් වෙන්න පුලුවන්. නමුත් දැන් ඕක සීඩී එකේ ඉන්දන්, පෙන් ඩ්‍රයිව් එකට, අඟලක්වත් නැති මෙමරි චිප් එකට ඇව්ල්ල. ඒ දවස් වල අමාරුවෙන් පත කැසට් වලින් ඕව බලපු උදවියම වයසට ගිහින් ලොම් හැලුනට පස්ාස, ඒ වැඩේ ලේසියෙන් කරගන්න කොල්ලොන්ට බනිනව. වෙනස් වෙලා තියෙන්නෙ උපකරනය විතරය්, අරමුන වෙනස් වෙලා නෑ. ඒ වගේම ෆේස්බුක් කියන්නෙත් ඉස්සර තිබුනු පෑනෙ මිතුරු ක්‍රමේම වර්තමාන ස්වරූපය, කාලයක් ලියුමෙන් මිනිස්සු ලව් කරා, ඊට පස්සෙ දුරකථන ඇමතුම් වලින්, කෙටි පනිවුඩ වලින්, දැන් ෆේස්බුක් ඒ අවශ්‍යතාවය සපුරල දෙනව.

ෆේස්බුක් කියන්නෙ තමන්ගෙ මිතුරො එක තැනකට එක්කහු කරන්න ඉඩදෙන දෙයක්. නමුත් අපේ රටේ උදවිය කරන්නෙ ඕකෙ අනිත් පැත්ත, මාධ්‍ය උනත් ෆේස්බුක් ප්‍රමෝට් කරන්නෙ මිනිස්සුන්ව අඳුර ගන්න පුලුවන්, කොල්ලොන්ට කෙල්ලො හොයා ගන්න පුලුවන් ‍ඩේටින් සයිට් එකක් විදියට. ඉතින් අපේ කට්ටියට මේක හොන්ද අවස්ථාවක්. අපේ සමාජ ක්‍රමයත් එක්ක පිරිමින්ව ගැහැනුන්ටත්, ගැහැනුන්ට පිරිමින්වත් ලොකු මැජික් එකක් වෙලා තියෙන්නෙ. ඉතින් සදාචාර පොලිසියෙනුත් බේරිලා, තමන්ව ඔඩොක්කුවෙ තියාගෙන බබා කරන දෙමව්පියන්ගෙන් බේරිලා, ඒ වගේම තමන්ම සමා‍ජෙ හදාගෙන ඉන්න ප්‍රතිරූපෙන් බේරිලා තමන්ගෙ ෆැන්ටසිය ජීවත් වෙන්න මේක හොන්ද අවස්ථාවක්.

සමහරු දකින දකින අයව තමන්ගෙ ෆේසබුක් එකට දාගන්නව, සමහරු බොරු ගෑනු ගිනුම් හදාගෙන සෙක්ස් චැට් කරන්න හදනව. මේ ක්‍රමයෙන් පෙන්නන්නෙ අ‍පේ සමාජයේ ගෑනු සහ පිරිමි ‍කොච්චර තනි වෙලාද කියල, කොච්චර ලිංගික අසහනයකින්ද ඉන්නෙ කියල. ඇත්ත ලෝකෙදි තමන්ටම බොරු කරගන්න අය ඒව පැත්තකට දාල ‍සමාජ ජාලා වෙබ් අඩවි වලදි තමන්ගෙ ඇත්ත ස්වරෑපෙට එනව. මෙවැනි බොරු ගිනුම් කුනු හර්ප වලින්, හොරා ගත් ලස්සන තරුනියන්ගෙ ඡායාරූප වලින්, ලිංගික යෝජනා වලින් පිරිල. සදාචාරාත්මක ලංකාවට පිටිපස්සෙන් තියෙන ඇත්ත ලංකාවෙ තත්වය ඕකය්.

ෆේසබුක් වලින් අපේ රට ගැන පෙන්නන තවත් දෙයක් තමය් ඔලුව කැක්කුමට කොට්ට මාරු කිරීමේ අසාර්ථක ක්‍රමවේදය. කාම චිත්‍රපටි නරඹන්න ලමය් යොමු වීමට ගොඩක් අය වැරදි පටවන්නෙ තාක්ශනික උපකරන වලට, ඔවුන් පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ ඒ දේ කරන්න ලමයින්ව පොලඹවන්නෙ මොන වගේ සාධකද කියල. ෆේසබුක් වලින් සිදුවෙන අපරාධ ගැන කතිකාව ඉහල යද්දි කවුරුත් කතා කරන්නෙ නැහැ ඒ අපරාධ කරන මිනිස්සු අපරාධ කරන්න පෙල‍‍ඹෙන්නෙ ඇය් කියල. ඉතින් අපි හැමදාමත් කරන්නෙ sms එකටය්, ජංගම දුරකථනයටය් බැන බැන ඉන්න එක මිසක් ප්‍රශ්නෙ මුල හොයන එක නෙමෙය්.

ෆේස්බුක් කියන්නෙ අපේ ලෙඩ ‍වෙච්ච සමා‍‍ජෙ රෝග ලක්ශන පෙන්නුම් කරන තැනක් මිසක් රෝග බෝ කරන තැනක් නෙමෙය්. පිහියකින් කට්ටියක් පාන් කපද්දි තව කට්ටියක් මිනී මරනව, ඒක පාවිච්චි කරන පුද්ගලයගෙ අරමුනේ ප්‍රශ්නයක් මිසක් පිහියෙ ප්‍රශ්නයක් නෙමෙය්. ඒ වගේම පිරිසක් ෆේස්බුක් ඇත්තටම මිතුරො එක්ක සම්බන්ධ වෙන්න යොදා ගනිද්දි පිරිසක් තමන්ගෙ ප්‍රතිරූපය හදාගන්න, තමන්ගෙ ජීවන රටාව අනුන්ට පෙන්නල ස්වයං වින්දනයක් ගන්න පාවිච්චි කරනව. පිහියෙන් මිනිහෙක්ව මරන්න ලේසි බව ඇත්ත, නමුත් මිනී මරන අරමුනක් පාවිච්චි කරන පුද්ගලයට නැත්තන් කාටවත් හානියක් නැහැ. ෆේස්බුක් මිනිස්සුන්ට සම්බන්ධ වෙන්න ලේසි ක්‍රම හොයල දෙද්ද එයින් අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න මිනිස්සුන්ටත් වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් වෙන එක ඇත්ත. නමුත් වැරැද්ද තියෙන්නෙ අරමුනේ මිසක් ෆේස්බුක් අඩවියෙ පහසුකම් වල නෙමෙය්. ‍හැමදාම උපකරන වලට බැන බැන ඒව අවහිර කිරීමෙන් වෙන්නෙ ඒවයින් හොන්ද ප්‍රයෝජනයක් ගන්න මිනිස්සුන්ටත් අසාධාරනයක් වෙන එක. නමුත් අපි හැමදාම අනුගමනය කලේ ඔය ක්‍රමවේදයමය්. අපි ලංකාවෙ අබ්බගාත සමාජ ක්‍රමයට වරද පටවන්නෙ තාක්ශනයට මිසක් අපේම ආකල්ප වලට නෙමෙය්. මොකද අපේ කැත ආකල්ප ප්‍රකාශ වෙන්නෙ ඒ වගේ තැන්වලින් නිසා. ඉතින් ෆේසබුක් භාවිතය වගේම ඒ ගැන අපේ සමාජය දක්වන ප්‍රතිචාරය ඇත්තටම අ‍පේ සමාජය ගැන ෆේසබුක් මවන ප්‍රතිබිම්භයක්. නමුත් ලංකාව කියන කැත ගෑනි හැමදාම කලෙත්, ඉස්සරහට කරන්නෙත් තමන්ගෙ කැත මූනට කන්නාඩියට බනින එක.

 



No comments:

Post a Comment