f

Tuesday, November 1, 2011

භාන්ඩ වලට සරිලන ‍අවශ්‍යතා සපයනු ලැබේ



උදේ පාන්දර පාර දිහා බැලුවොත් පේන්නෙ එක හැල්මෙ දුවන මිනිස්සු. එක එක පැති වලට එක එක විධියෙ මිනිස්සු දිවුවට ඔවුන් දුවන්නෙ එකම දෙයක් පස්සෙ, “මුදල්”. කට්ටියක් රැකියා වලට යනව, කට්ටයක් ඉගෙනීමේ කටයුතු වලට යනව, ලොකු උනන්දුවකින්. ඔවුන් ගමන් මලු ඇතුලෙ මොනව දාගෙන ගියත් හිත ඇතුලෙ අරන් යන්නෙ බලාපොරොත්තු. හවසට ඔය හැමෝම ආපහු ගෙදර එන්නෙ දුවල දුවල හොන්දටම හති වැටිල. පුලුවන් තරම් ඉගෙන ගන්නෙ වැඩි පඩි රස්සාවක් ලබා ගන්න. රස්සාවට යන්නෙ පඩිය අඩු නැතිව ලබා ගන්න. පඩිය අඩු උනොත් මුදල් අඩු වෙන්න පුලුවන්, මුදල් අඩු උනොත් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙන්න පුලුවන්, එතකොට සතුට අඩුවෙන්න පුලුවන්. ඒක තමය් අපිට තියෙන ලොකුම බය.

ස්ටීව් ‍ජොබ්ස් මිය ගිහින්. ලෝකෙ පුරා විසිරිලා හිටපු මිනිස්සුන්ගෙ අවධානය එක තැනකට ගත්තු තවත් ආරංචියක්.  තමන්ගෙ අතීතෙත් එක්ක සටන් කරල දිනපු, ඒ හරහා ලෝකෙටම ආදර්ශයක් දුන්නු ස්ටීව් ජොබ්ස්ට පිලිකාවට පැරදෙන්න සිදුවීම කනගාටුදායකය්. නමුත් ඔය ප්‍රවෘත්තිය පැතිරී යාමත් එක්ක අපූරු දෙයක් සිද්ධ වෙනව. ෆේස්බුක් වගේ සමාජ ජාලා වෙබ් අඩවි වල ලක්ෂ ගනනින් ශෝක පනිවිඩ සටහන් වෙනව,  සාමාන්‍ය ජනතාව පමනක් නෙමෙය් ප්‍රසිද්ධ පුද්ගලයන් පවා රූපවාහිනියෙන් ශෝකය පල කරනව. ඔවුන් හැමෝම කියන්නෙ ස්ටීව් ජොබ්ස් ‍ලෝකයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක් කියල, ඔහු මිනිස්සුන්ගෙ ජීවිත වඩාත් පහසු කලා කියල, ඔහු වීරයෙක් කියල.  ස්ටීව් ජොබ්ස්ට මිනිස්සු මෙච්චර ආදරේ කලේ ඇය්?


ස්ටීව් ජොබ්ස් දක්ශ ව්‍යාපාරිකයෙක්, ඔහු කලේ තාක්ෂනයේ තිබ්බ රළු දැඩි ගතිය ඉවත් කරල එය දිලිසෙන සුමුදු ඇපල් ගෙඩියක් බවට පත් කරපු එක. ඔහු මෙවලම් වලට වඩා නිර්මානය කලේ සෙල්ලම් බඩු, හැදුනු වැඩුනු මිනිස්සුන්ව සතුටු කරන සෙල්ලම් බඩු. මිනිස්සු කෝටි ගනනින් ආකර්ශනය කරන්න ඔහුගේ හැම නිශ්පාදනයකටම හැකි උනා.  පහසුකම් අතින් වැඩි වෙනසක් නොතිබුනත්, තමන් සතුව තිබුනු දුරකථනයෙ අඩුවක් නැති උනත්, නිශ්පාදන වියදමට වඩා තුන් ගුනයක් පමන මිල වැඩි උනත්, iphone  අලුත්ම සංස්කරනය නිකුත් වෙනකන් හැමෝම සල්ලි මිටි ගනන් ලෑස්ති කරගෙන බලන් හිටිය.  Apple නිශ්පාදන වල මිල දැරීමට නොහැකි මිනිස්සු පවා ඔවුන්ට අඩු මුදලට එකම අවශ්‍යතාව සපුරන භාන්ඩ මිලදී ගන්නට පුලුවන් කම තියෙද්දිත් Apple නිශ්පාදන මිලදී ගත්ත. 

මෙය Apple නිශ්පාදන වලට පමනක් සීමා උනු දෙයක් පමනක් නෙමෙය්. මිනිස්සු එක එක වෙලඳ නාම යටතෙ එන නිශ්පාදන පස්සෙ හඹා යනව. ලංකාවෙ වගේ මිලදී ගැනීමෙ හැකියාව අඩු ඉන්න මිනිස්සු රටක පවා පවතින්නෙත් ඔය ක්‍රමයමය්. තමන්ගෙ මාසික ආදායම වගේ දස ගුනයක් පමන වන නිශ්පාදන වලින් ගෙවල් පුරෝ ගෙන. සමහරක් ඒවට අවුරුදු ගානකින් අතක් තියපු පාටක් පේන්න නැහැ. පරිගනකය හෑම ගෙදරකටම අනිවාර්ය විසිතුරු භාන්ඩයක් වෙලා. ඒව පිටි පස්සෙ තියෙන්නෙ මාස ගනනක මහන්සිය, නැතිනම් ණය. එක කෙලින්  තිබ්බොත් ගෙදර පලලටත් වඩා වැඩි බිල් කන්දරාවක්. ගෙවන්න යන මුදල ජීවත් වෙන්න අවශ්‍ය ආහාර වලට වැය කරන කරන මුදලටත් වඩා වැඩියි. 

මානව ඉතිහාසයෙ මුල් අවධියෙදි පැවතුනේ මූලික අවශ්‍යතා කිහිපයක් විතරය්. ඔවුන්ට බඩගින්න නිවා ගන්න කරන්න තිබුනෙ  දඩයම් කිරීම විතරය්. එම නිසා ඔවුන්ට ආයුධ වල අවශ්‍යතාව ඇති උනා. කුඩා කන්ඩායම් වශයෙන් ජීවත් වුනු නිසා ඔවුන්‍ට සන්නිවේදනය කරන්න වගේම වින්දනය සඳහා අවශ්‍ය වුනේ සරල මෙවලම් කිහිපයක් පමනය්. නමුත් දැන් අපි පවුල් වශයෙන් බෙදිල, ලෝකය පිලිබඳ අපේ සංකල්පය විශාල වෙලා. අපිට තව දුරටත් දඩයම් කරන්න බැහැ. මේසයට කෑම  ගෙන්න ගන්න අපිට රස්සාවල් කරන්න වෙලා. ඒ වෙනුවෙන් අපිට ඉගෙන ගන්න වෙලා, තාක්ශනික මෙවලම් ලෝකයට අපිව බැඳල තබන තන්තුවක් වගේ. මූලික අවශ්‍යතා සපුර ගන්න කුඩා අවශ්‍යතා රැසක් සපුර ගන්න වෙලා. එම නිසා අපිට වැඩි වශයෙන් පරිභෝජනය කරන්න වෙනව. 

ප්‍රශ්නය පරිභෝජනය නෙමෙය්. අපේ අවශ්‍යතාවල් සපුරන්නේ නැති භාන්ඩ පරිභෝජනය කිරීමය්. අපි භාන්ඩ මිලදී ගන්නෙ අවශතාවල් සපුර ගන්න කියල අපි විශ්වාස කරන්න කැමතියි. නමුත් ඇත්තම හේතුව ඒකද? 19 වන ශතවර්ශයේදි කාර්මික විප්ලවයත් එක්ක විශාල වශයෙන් භාන්ඩ නිශ්පාදනය වෙනව. එහි ප්‍රතිපලයක් විදියට අඩු මුදලකට භාන්ඩ වෙලඳ පොලට එනව, නිවෙස් තුල භාන්ඩ එක් රැස් වෙන්න පටන් ගන්නව. නොයෙකුත් වෙලඳ නාම වෙලඳ පොල වගේම මිනිස්සුන්ගෙ හිත් ආක්‍රමනය කරන්න සමත් වෙනව. Consumerism, එහෙමත් නැතිනම් විශාල ප්‍රමාන වලින් භාන්ඩ පරිභෝජනය ආරම්භ වෙන්න ඔය විදියට. සම්පත් එකතු කිරීම, නිශ්පාදනය,බෙදාහැරීම,පරිභෝජනය,ඉවත ලෑම කියන පියවර පහෙන් සමන්විත ඔය ක්‍රියාවලියෙ සමාජයෙ පැවැත්මට වඩාත්ම බලපාන්නෙ බෙදාහැරීම සහ පරිභෝජනය. හැකි තරම් ලාබ ලබා ගැනීමේ අරමුනු ඇතිව භාන්ඩ නිශ්පාදන කරන සමාගම් වෙලඳ සැල් වලට භාන්ඩ බෙදා හරිනව. වෙලඳ සැලේ රාක්කයක ඉඩ අහුරගෙන පාරිභෝගිකයෙක් එනකන් භාන්ඩ බලන් ඉන්න අතරෙ ඇමක ඉන්න පනුවගෙ කාර්ය ඉටු කරන්නෙ වෙලඳ දැන්වීම්.

වෙලඳ දැන්වීම් කියන සංකල්පයෙන් ඉගෙන ගන්න පුලුවන් දේ බොහොමය්. ඒ වෙලඳ දැන්වීම් භාවිතා කරන උපක්‍රම වලින් අපිට අපි කව්ද වගේම සමාජයෙ අනිකුත් මිනිස්සුත් කව්ද කියල වටහා ගන්න පුලුවන් නිසා. වෙලඳ දැන්වීම් මුලින්ම ඉලක්ක කර ගන්නෙ ඉහල පන්තිය. ඒ ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි නිසා. වෙලඳ දැන්වීම් අපේ මනසෙ හිල් අතරින් රිංගල යන්න පාවිච්චි කරන ප්‍රධාන උපක්‍රමය තමය්, අදාල භාන්ඩයට අපේ ජීවතය වඩාත් යහපත් කිරීමේත්, අපිව සතුටෙන් තැබීමේත් හැකියාව තිබෙනව කියන අදහස. එහෙමත් නැතිනම් ඔබ මිලදී ගන්නා භාන්ඩය සමාජය තුල ඔබව නිර්වචනය කරන සාධකයක් කියන අදහස. ඔබේ ආකල්ප, ඔබේ කලාත්මක අදහස් ලෝකයට පෙන්වන්න ඔබට භාන්ඩ අවශ්‍යය් කියන අදහස. වෙලඳ දැන්වීම් වල මෝටර් රථ වල නැගල යන, සතුට මුහුනෙ හැම පේශියකින්ම බේරෙන පවුල් පෙන්නන්නෙ ඒ නිසා. සුවඳ විලවුන් වලින් පහසුවෙන් ලිංගික සහකරුවෙක් ලබා ගන්න පුලුවන් බව පෙන්නන්නෙ ඒ නිසා. Ringing tone එකකින් ඔබේ රසාස්වින්දනය පෙන්වන්න පොලඹවන්නෙ ඒ නිසා. 

මුදලින් අඩු පාඩුවක් නැති ඉහල පන්තිය අදාල භාන්ඩයේ මුල්ම ගැනුම් කරුවො වෙනව. රටක පහල ස්ථරය ඉන්නෙ තමන්ගෙ සමාජ තත්වය ඉහල දමා ගැනීමේ අරගලයක. ඔවුන් විශ්වාස කරනව ඉහල ස්ථරය අනුකරනය කිරීමෙන් තමන්ගෙ සමාජ තත්වය ඉහල දමා ගන්න පුලුවන් කියල. ඒ සඳහා ඔවුන් කරන්නෙ ආර්ථිකව අපහසු උනත් ඉහල සමාජ ස්ථරයේ සිටින පුද්ගලයන් මිලදී ගන්නා භාන්ඩ මිලදී ගැනීමට පෙලඹීම. Credit card සමාගමුත් ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වෙනව. හරියට කොටියෙක් මුවෙක්ව ග්‍රහනය කරගන්නව වගේ. බලන් ඉන්න කෙනාට පේන්නෙ කොටිය බොහොම ආදරෙන් මුවාව බදා ගන්නව වගේ, ඒත් කොටිය කරන්නෙ බෙල්ලෙන්ම අල්ල ගන්න එක. ලංකාවෙ  සුපිරි අවන්හල්, ඒ වගේම අග නගරය ආශ්‍රිත සුපිරි වෙලඳ සැල් ප්‍රචලිත වෙන්න ඔය හේතුව විශාල ආකාරයෙන් බලපෑව.  එම නිසා රටක ජීවන රටාව තීරනය කරන්නෙ ඒ රටේ ඉහල පන්තිය. ඊට පස්සෙ ක්‍රමයෙන් අදාල භාන්ඩය පහල සමාජ තල වලට කාන්දු වෙනව. ඒ සමාජ තලයේ බහුතරයක් අතට අදාල භාන්ඩය පත් වුනාට පස්සෙ, සුලුතරයට ඉබේම පීඩනයක් එනව ඒ භාන්ඩය මිලදී ගන්න. මොකද සමාජයෙන් කොන් වීම අපිට තියෙන ලොකුම බයක්. උදාහරන ජංගම දුරකථනය. නමුත් හැම පන්තියකටම ඔය කියන භාන්ඩය කාන්දු උනාට පස්සෙල ඉහල ස්ථර වල ඉන්න අයට ඒ භාන්ඩය තමන්ගෙ පන්තිය පෙන්වීමට යොදා ගන්න බැරි වෙනව. " දැන් ෆෝන් එකත් බල්ලට ගිහින්" වගේ කතා ඇහෙන්නෙ ඔය හේතුව නිසා. 

ලංකා‍‍වෙ බහුතරයක් නරඹන රූපවාහිනී නාලිකා වල වැඩසටහන්, මෙගා නාට්‍යය ඇතුලුව, සුපිරි ජීවිත ගත කරන මිනිස්සුන්ව පෙන්නන්නෙ මිනිස්සු අතර සහජයෙන් තියෙන ඔය ආසාව අවුස්සන්න. උදාහරනයකට සිරස නාලිකාවෙ විකාශය වන සුභාසිරි කියන වැඩසටහනෙ පෙන්වන්නෙ අධික මුදලක් වැය කරල පවත්වන විවාහ උත්සව. සිරස කියන්නෙ ඔය තරම් මුදල් වියදම් කිරීමේ හැකියාවක් තියෙන මිනිස්සු බලන නාලිකාවක් නෙමෙය්, රටේ සාමාන්‍යය මිනිස්සු බලන නාලිකාවක්. ඒ වගේම උදේ පාන්දර සියලුම නාලිකා ආක්‍රමනය කරන නූතන බෙහෙත් තෙල් වෙලෙන්දන්. ඔබ මහතනම් කැතය්, කලු නම් කැතය් කියල පෙත්තක් විකුන ගන්න ඔබේ ආත්ම අභිමානය බිඳිනව. වෙලඳ නාම අනුගමනය කරනව, ශ්‍රද්ධාවෙන්, නිකුත් කරන ඕනම භාන්ඩයක් මිල හෝ ප්‍රමිතිය ගැන නොහිත තමන් සතු කරගන්නව.

මිල දී ගැනීමෙන් ඇත්තටම අපිට සතුටු වෙන්න පුලුවන්ද?
Americans become unhappy and vicious because their preoccupation with amassing possessions obliterates their loneliness. This is why production in America seems to be on such an endless upward spiral: every time we buy something we deepen our emotional deprivation and hence our need to buy something.Philip Saltier

ඔහු මතු කරල තිබෙන කාරනාව ඇමෙරිකාවෙ විතරක් නෙමෙය් පෟතුවි කබොල්ල මත ජීවත් වෙන අපි හැමෝටම අදාලය්. අපි යමක් මිලදී ගන්න කොට අපිට නොදැනිම අපි "නැහැ" කියන මානසික බොත්තම ඔබනව. අපි හැමතිස්සෙම හිතන්නෙ නැති දේ ගැන. තව තවත් මිලදී ගන්න ඒ හැඟීම අපිව පොලඹවනව. තනි කමින් බැට කන මිනිස්සු තමන්ගෙ තනි කම දුක මකා ගන්න භාන්ඩ පාවිච්චි කරල ඒ භාන්ඩ එක්ක තව තවත් තනි වෙනව, තව තවත් දුක් වෙනව. මිලදී ගන්න භාන්ඩ කැඩුනම නැවත කොටස් මිලදී ගන්න වෙනව.මේ නිසා අපි කොච්චර මිලදී ගත්තත් සෑහීමකට පත් වෙන්නෙ නැහැ. අපේ මේ ඇබ්බැහිය අපේ ආත්ම විශ්වාසය නැති කරනව, අපිව මානසිකව වට්ටල වෙනමම පුද්ගලයෙක් බවට පත් කරනව.  සමාජීය වශයෙන් අපි හැමෝම වැඩියෙන් මුදල් අතට ගන්න ලොකු දුකක් විඳිනව. ලස්සන සැප පහසු පුටුවක් මිලදී ගන්න කන්තෝරුවෙ කසි කබල් පුටුවෙ ජීවිතේ වැඩි කාලයක් කට්ට කනව. අපිව ණය කාරයො බවට පත් වෙනව. ඒ වගේම ස්වාභාවික සම්පත් ලබා ගැනීමේදීත්, නිශ්පාදනයේදීත්,භාන්ඩ ඉවත ලෑමේදීත් විශාල වශයෙන් පරිසරයට හානි සිදු වෙනව.ගෙදර තියෙන බඩු සේරම විසික් කරල දාල කැලේකට ගිහින් දඩයම් කරන එකවත්, සමාජ වාදියෙකු වෙලා ධනවාදයට එරෙහිව සටන් කරන එකවත් නෙමෙය් විසඳුම. පරිභෝජනය කියන්නෙ අපේ ජීවිතය ගැන වගකීමක් කියන කාරනාව තේරුම් ගත යුතුය්. 
සමාජවාදීන් මේ ක්‍රමයට විසඳුමක් හැටියට සමාජවාදී ආරථික ක්‍රමයක් යෝජනා කලත්, අපි හැඟීම් වලින් මිලදී ගැනීම නතර කොට බුද්ධියෙන් මිලදී ගැනීම ආරම්භ කරනකන්, මොන ආරථික ක්‍රමයටවත් විසඳුමක් වෙන්න බැරි වේවි. ‍අපි ව්‍යාපාරිකයන්ගෙ අත කොලුවක් නොවී, මිලදී ගන්නා භාන්ඩ වලින් සපුරන නියම අවශ්‍යතා‍වය, එහි මිල හා ප්‍රමිතිය ගැන දෙවරක් සිතිය යුතුය්. අපි අපේ අවශ්‍යතා මිස, ව්‍යාපාරිකයො විසින් අපිට හදල දෙන අවශ්‍යතා සපුරන්නට උත්සහ දැරුවොත් වෙන්නෙ කවදාවත් ඉවර වෙන්නෙ නැති, හති වට්ටන ක්‍රියාවලියක කොටස් කාරයෙක් වෙන්න, භාන්ඩ වලට අපිව අලෙව් කරන්න. 

ඔබ සතුව තියෙන භාන්ඩ වලින්වත්, ඔබේ රැකියා‍වෙන්වත් ඔබ කව්ද කියල තීරනය වෙන්නෙ නැහැ. එම නිසා ඔබේ ප්‍රතිරූපය හදාගන්න කාගෙවත් සාක්කු පුරවන්න අවශ්‍ය නැහැ. කාටවත් ගන්න බැරි ඔබේ අදහස් තමය් ඔබ කව්ද කියල තීරනය කරන්නෙ. ඔබේ ආකල්ප ලෝකයට පෙන්වන්න කලාව භාවිතා කරන්න. විවිධ වැකි සහිත ඇඳුම් මිලදී ගන්නවට වඩා, Ringing tone භාවිතා කරනවට වඩා ඒ ක්‍රමය සාර්ථකය්. එයින් ඔබට වගේම ඔබේ අදහස් වලටත් වටිනාකමක් ලැබෙනව. නමුත් ලෝකයේ බොහෝ දේවල් වලට වගේම consumerism වලටත් හොන්ද පැත්තක් තියෙනව. රටක ආර්ථිකය ඉහල දැමීමේ හැකියාව, හඳුන්වාදීම් වලට මිනිස්සු පෙලඹවීම, රැකියා අවස්ථා බිහි කිරීම එයින් කිහිපයක්. නමුත් ඔය රැකියාවල් වල නිරත වෙන මිනිස්සු ලස්සන දිලිසෙන භාන්ඩ කිහිපයකට ඔවුන් උපයන සියලුම මුදල් පූදල් පූජා කලොත්, වැඩි වැඩියෙන් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් වැඩි වැඩියෙන් වෙහෙසුනොත්, අවසාන ප්‍රථිපලය වෙන්නෙ අසතුට, මානසිකවත් ආර්ථිකවත් සාමාජීයවත් පුද්ගලයා පිරිහීම. රටක ආර්ථිකයත් ඉහල දැමීමටවත්, නව නිර්මාන දිරිමත් කරන්නවත්, ඔබේ සතුට, පරිසරය බිල්ලට දීම අසාධාරන ක්‍රම වේදයක්. Ethical consumerism සංකල්පය බිහි වෙන්නෙ ඔය හේතුව නිසා. එය සමාගම් විසින් පරිසරයට අවම හානියක් කොට භාන්ඩ නිශ්පාදනය කිරීමට දෙන පොරොන්දුවක්. නමුත් තාමත් ඔබේ සතුට අනතුරේ.

 "ස්ටීව් ජොබ්ස්ට මිනිස්සු මෙච්චර ආදරේ කලේ ඇය්?". ඔහු සමාජයේ ඔඩු දුවල තිබුනු  පරිභෝජනවාදය කියන පිලිකාවෙන් හටගත්තු, සමාජය සමග පෑහී‍මේ අවශ්‍යතාවය කියන හිසරදයට ‍වේදනා නාශකයක් වූ නිසා. ලෝකයේ පලමු පරිගනක මූසිකය එලි දකිනව බලන් හිටපු ස්ටීව් කලේ එහි තිබුනු කාර්මික ගතිය ඉවත් කරල එය පාව්ච්චියට පහසු ආකර්ශනීය භාන්ඩයක් හැටියට නිශ්පාදනය කිරීම. iphone එකේ මිල අඩුවෙද්දි, හැම පන්තියටම එය මිලදී ගැනීමේ හැකියාව ලැබෙද්දි ස්ටීව් කලේ තවත් මිල අධික නව සංස්කරනයක් නිකුත් කරන එක. ඔහු කලේ තාක්ශනික භාන්ඩ තමන්ගෙ සාමාජීය තත්වය පෙන්නුම් කරන, පෞරුශය ඉස්මතු කරන දෙයක් බවට පත් කිරීම. ඔහු කලේ අවශ්‍යතාවයට සරිලන භාන්ඩ නිර්මානය කිරීම නෙමෙය්, ඔහුගේ භාන්ඩ වලට සරිලන අවශ්‍යතා මිනිස්සු තුල නිර්මානය කිරීම. ඔහුට එහෙම කරන්න හැකියාව ලැබුනෙ මිනිස්සුන්ගෙ හිත් අස්සෙ හැංගිලා තියෙන හිමි කර ගැනීමේ ආසාව සහ ඒ තුලින් තමන්ගේ මානය ඉහල දමා ගැනීමේ ආසාව නිසා. ඉතින් ස්ටීව් ජොබ්ස් මාධ්‍යයටත්, පාරිභෝගිකයන්ටත් වීරයෙක්. 

පරිගනක ලෝකයේ විප්ලවයක් කරපු C පරිගනක භාශාව සහ  UNIX නිර්මානය කරපු ඩෙනිස් රිචී මිය යනවිට ලෝකයෙන් අඩක්වත් ඔහු ගැන දැන සිටියෙවත් නැහැ. ඒ ඔහුගෙ හඳුන්වාදීම ආභරනයක් හැටියට මිනිස්සුන්ට භාවිතා කරන්න බැරි වූ නිසා. ඒ අතින් බලන කල ස්ටීව් නිර්මානශීලී, දක්ශ ව්‍යාපාරිකයෙක්. ඔහු කලේ ව්‍යාපාරිකයකු කල යුතු දේ. ඔහු ලෝකයට ව්‍යාපාරයක් කරන හැටි ගැන ඉගැන්නුව, තාක්ශනය දිහා වෙනස් විදියට බලන්න ව්‍යාපාරිකයන්ව හුරු කලා. එම නිසා ඔහු ‍ගෞරවය හිමි විය යුතු පුද්ගලයෙක්. නමුත් ඔහු ලෝකය වෙනස් කරපු, ‍මිනිස් සංහතියට අති විශාල සේවයක් කරපු පුද්ගලයෙක් හැටියට නම් වීම අපේ සමාජය ගැන එක් යථාර්තයක් හෙලි කලා. ව්‍යාපාරිකයට වන්දනාමාන කරන තත්වයට පාරිභෝගිය පත්වෙලා. ආගමික ශාස්තෟවරයෙක්ගෙ තත්වයට ව්‍යාපාරිකය පත් වෙලා. උපාධියක් වත් නොමැතිව ජිවන අරගලයට මූන දීල ජයගත්තු ස්ටීව් ලෝකෙන් සමුගත්තෙ අපි කාටත් අධ්‍යාපනය ගැන, ‍උත්සහය ගැන පාඩම් රැසක් කියා දීල. නමුත් බහුතරයක් ස්ටීව් ජොබ්ස්ව වන්දනා මාන කලේ ඔහු පුද්ගලයෙක් හැටියට ඔවුන්ගෙ ජීවිත වලට දුන්න ආදර්ශය නිසා නෙමෙය්, ඔවුන්ග ජීවිත වලට අධික මුදලකට ඔහු දුන් විද්‍යුත් පරිපථ කිහිපයක් නිසා. ස්ටීව් ජොබ්ස්ගෙ මරනයට ලෝකය දක්වපු ඒ ප්‍රතිචාරය පෙන්නුම් කලේ මනුස්ස ජාතිය හැටියට අපි ඒ අන්දන් ඉන්න ඇන්දිල්ල. ඔව් ලෝකය වෙනස් වෙලා.




No comments:

Post a Comment