f

Wednesday, April 11, 2012

සුනාමිය, ඉතින් ස්තූතිය්



අද තිබ්බෙ වෙනද තිබුනු ලංකාව නෙමෙය්.

මිනිස්සු හැමෝම එක කල්පනාවක, එක අරමුනක.

"සුනාමියක් එනවලු". මේ ආරාංචිය මිනිස්සු එකිනෙකාට කියාගත්තෙ බයක් වත් දුකක් වත් හිතේ තියා ගෙන නෙමෙය්, අමුතු ත්‍රාසයක් එක්ක.

කට්ටය එහෙ මෙහෙ දිව්ව, මුහුදු හූලඟක් නොවදින මානෙක වත් නොහිටපු මිනිස්සු රූපවාහිනියෙය් දුරකථන වලය් එල්ලී ගෙන. ගෙවල් ගානෙ ආරංචිය අරන් යනව.

"සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කලා" රූපවාහිනියෙන් කිව්වම අපි හැමෝම සැනසුම් සුසුමක් හෙලුව, හැබැය් ලෝකෙට පේන්න විතරක්. ඔය නිවේදනයත් එක්ක හිත් යට ඇති උනේ ලොකු බලාපොරොත්තු කඩ වීමක්.

ලෝකෙට පේන්න හනේ හපොය් කිව්වට මුලු රටේම අවධානය ඇද ගන්න දෙයක් වෙනවට හිත ඇතුලෙ අපි හැමෝගෙම කාලකන්නි ආසාවක් තියෙනව.

"ඉස්සර ලංකාව විනෝදජනකය්, ත්‍රාසජනකය්, සැරෙන් සැරේ බෝම්බ පුපුරනව, ඒත් යුද්ධෙ ඉවර උනාට පස්සේ ලංකාව අම්බානක කම්මැලි රටක් උනා"

වෙබ් අඩවියක ලංකාව ගැන තිබුනු ලිපියක් යටින් වැටිල තිබුනු ප්‍රතිචාරයක් වසරකට විතර කලින් මම දැක්ක.

බෝම්බයක් සුනාමියක් ගැන දැනගත්තම ඇඟ පුරා ගලා ගෙන යන හෝමෝන පහරවල් එක්ක මනසට ඇඟට එන්නෙ අමුතුම ගැම්මක්. ඕක පිටකරගන්න අපි පුලුවන් තරම් දුරකථන වලින් ඔය ආරංචිය පතුරනව. ප්‍රවෘත්ති බලනව.

ඉස්කෝල, පන්ති කට් කරන්න පුලුවන් නිසා පොඩි එවුන් උඩ පනිනව. මහ එවුන්ටත් ටික වෙලාවකට දෙවනි ජීවිතයක් ලැබෙනව. හැමෝම එකම අදහසක් යටට එනව. නෑදෑයොන්ට කතා කරන්න හම්බෙනව. ඒක කලාතුරකින් හම්බෙන කැත වගේම ලස්සන මොහොතක්.

මිනිස්සු දාස් ගානකගෙ ජීවිත ඇපේට තියල අපි ඒ මොහොත විඳිනව.

හිතේ එක පැත්තකින් හානියක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කලාට හිතේ අනික පැත්තෙන් පත රැල්ලක් ඇවිල්ල ගොඩනැගිලි කඩා ගෙන යනව බලන්න ආසය්. හැබැය් හිතේ ඒ පැත්ත අපි කාටවත් පෙන්නන්නෙ නැහැ.

ලංකාවෙ අද ක්‍රමයෙන් වැඩි වෙන ජාතිවාදෙ, ඇමරිකන් විරෝදෙ පිටිපස්සෙ තියෙන හේතුව ඕක. වසර ගනනාවක් යුද්ධෙන් ගත්ත ඔය ආතල් එක පාරටම නැති වුනාම කුඩු කාරයෙක්ට කුඩු නැති වුනාම වගේ ලංකාවෙ මිනිස්සුන්ට අරමුනක් නැති උනා. ජීවිතේ කම්මැලි උනා.

අපි එදා ඉඳන් හතුරෙක් හොය හොයා යනව. වෙලාවකට මුස්ලිම් මිනිස්සු මේ හතුරගෙ තැන ගන්නව, නෝ ලිමිට් ටොෆිය මේ තැන ගන්නව. වෙලාවකට ඔබාම හතුර වෙනව, තවත් වෙලාවකට රිය අනතුරුත් ත්‍රස්ථවාදයක් හැටියට හංවඩු ගැහෙනව.

ආන්ඩුව ඔය වචන පාවිච්චි කරන්නෙ හිතු මතේට නෙමෙය්, ඇත්තටම ජන මනස අඳුරගෙන ඉන්න නිසා.

කාලෙකට පස්සෙ මේ මිනිස්සුන්ට සුරාන්තය හැදෙන තරමටම සුනාමියෙන් වින්දනයක් දුන්න.

සුනාමිය,ඉතින් ස්තූතිය්.

Saturday, April 7, 2012

ආගම මිනිස්සුන්ටද?


"ආගම කියන්නෙ මේ බඩගින්න වගේ පටු අරමුනු වලට විසඳුම් දෙන්න තියෙන දෙයක් නෙමෙය්". බෞද්ධාගමික වැඩසටහනක් අතරතුර බඩගින්නට දුප්පත් මිනිහෙක් පාන් ගෙඩියක් හොරකන් කලොත් පව්ද අපේ හාමුදුරුවනේ කියල නිවේදකය අහපු ප්‍රශ්නෙට පිලිතුර හම්බුනේ ඔහොම. ‍

මේ වැඩසටහන විකාශය උනේ රජයේ නාලිකාවක. සුදු ඇඳගත්තු මිනිස්සු සියයක් විතර කකුල් කෙටි අඹර ගෙන බිම ඉඳගෙන දා‍ඩිය පෙරා ගෙන බෙහොම සාවධානයෙන් මේ කතාව අහගෙන ඉන්නව. මිනිස්සුන්ට අඩියක් විතර උඩින් බොහොම සැප පහසුවට තමන්ට වෙන් වුනු ආසනවල ඉඳගත්තු භික්ෂුවකුය්, මහාචාර්ය කෙනෙකුය්.

ඊලඟට මේ භික්ෂුව මෙහෙම කියනව. "ඒ මනුස්සයට පාන් ගෙඩිය හොරකන් කරන්න උනේ දුප්පත් වෙලා ඉපදුනු නිසා, ඒ පෙර ආත්ම වල කරපු පව් වල ප්‍රතිපලයක් හැටියට ".

මරනෙට තියෙන බය නිසා බන අහන්න ආපු වයසක උන්දල ටිකත් ඉතින් ඔලුව හොල්ලනව. ඔතන තමය් හැම ආගමකම උපත. මරනෙ ගැන තියෙන භය, මර‍නෙ නිසා ඇති වෙන දුක වහගන්න ඒ දවස්වල හිටපු මිනිස්සු කලේ ලස්සන සීනි බෝල කතා ටිකක් හදල හිත් සනස ගන්න එක.

අන්තිමට බලනකොට මිනිස්සුන්ට කන්න බොන්න නැත්තෙ ආර්ථික‍ය ක්‍රමයේ හෝ රජයේ හෝ වැරැද්ද නිසා නෙමෙය්, මිනිස්සුම පෙර ආත්ම වල කරපු පව් නිසා.

මහාචාර්යතුමා ඊලඟට මෙහෙම කියනව " ඔය ස්වීඩනයෙ ඇති නැති පරතරය බොහොම අඩුය්, ඇය් ඒ වැඩිය හම්බකරන්න දෙන්නෙ නැහැ ගහනව ටැක්ස්"

කට්ටියගෙම මූනෙ සතුටු හිනාවක් ඇඳෙනව, ලංකාවෙ ආන්ඩුව ටැක්ස් ගහන්නෙ මිනිස්සුන්ට තියෙන ආදරේට.

"ඔය කිරි පිටි වල ඇති දෙයක් නැහැ, මිනිස්සු රවට්ටනව විතරය්, අපේ සමහර මේ ආන්ඩුවට බනිනව කිරි පිටි ගනන් කියල"

ඔය අතරෙ තරුන මූනවල් ටිකකුත් පේනව. පහුගිය කාලෙ ආගම පුලුවන් තරම් උත්සහ කලේ ආගම "කූල්" දෙයක් කරන්න. කූල් ඕනෙම දේකට තරුන තරුනියො ඇදිල එනව. අන්තිමට ලංකාවෙ ‍ඊලඟ පරම්පරාවත් දැන් ඉන්න පරම්පරාව වගේම වෙලා ඉවරය්. ආගම අස්සෙ මනස හිරකරගෙන, ගෝත්‍රවාදයෙන් පස්ස පැත්ත අවුලගෙන.

අන්තිමට කට්ටිය තමන්ගෙ දුප්පත් කමට තමන්ටම ශාප කර කර ගෙදර යන්න ඇති. ඊලඟ ආත්මෙවත් සල්ලිකාරයෙක් වෙන්න පන්සලට මොනා හරි පූජ කරන්න හිතා ගන්න ඇති. හාමුදුරුවරු කියනව මට ඇහිල තියෙනව හිඟන්නන්ට කන්න දුන්නට පින් සිද්ධ වෙන්නෙ නෑ කියල, පන්සලට දානෙ දුන්නම පින වැඩියිලු. 
 
ආගම හැමදාම පුටු උඩ සැපට, මිනිස්සු හැමදාම අඩි ගානක් පහලින් බිම පෙරලිගෙන, වැඳගෙන. ලඟදි බෝ ගහකට මිනිහෙක් නැග්ග නිසා ඒ බෝ ගහ හෝදල "පිරිසිඳු" කරන්න වුනාලු. ඒ කියන්නෙ මිනිස්සු අපිරිසිඳුය්. මොන සංවිධානාත්මක ආගමත් අවුරුදු දහස් ගානක් තිස්සෙ ඉඳන් කලේ ඕකමය්. මිනිස්සුන්ට තමන් ගැනම පහත් විදියට හිතන්න පුරුදු කරන එක.

උඹලගෙ ආත්මය කිලිටිය්, අපිරිසිඳුය්, උඹල පව් කාරයො, උඹලගෙ ජීවිත දුකය්, උඹලගෙ ගැලවුම අපි තමය් කියල සිස්ටම් එකට කඹුරව ගන්න එක. හැමෝම ආගමට වෙන අපහස ගැන කතා කලාට ආගමෙන් මිනිස්සුන්ට කරන මේ අපහස ගැන කව්රුත් කතා කරන්නෙ නැහැ.

ඉතින් ගමේ පන්සල් පල්ලි කෝවිල් රත්තරන් වලින් තට්ටු ගනන් උසට හැදෙනව, ගමේ මිනිස්සු ටික පෙට්ටි ගෙවල් වල.

පල්ලිය පන්සල කෝවිල සල්ලි නැති මිනිහ ඉන්නෙ සතුටෙන් කියල උගන්නනව, පොඩි මිනිහ හිත හදාගෙන හැමදමෙ පැදුරෙ නිදාගන්නව.

බඩගින්න පටු අරමුනක් කියන හාමුදුරුවන්ට වෙලාවට නොමිලේ හොඳට දානෙ හම්බනව, ඕක අහන් ඉන්න මිනිහ රස්සාවෙදි මැරිල මැරිල පොල් සම්බෝලය් බතුය් කනව. කරුමෙ කියල හිත හදාගන්නව.

දේශපාලකයන් සතුටෙන් කල් ගත කරනව

මට අන්තිමේදි මතක් උනේ සූරිය අරනෙ වැද්ද කියපු කතාවක්.

"යකෝ, ඔය මොන ලෝකෙ ගියත් යන්නෙ මලාට පස්සේ!!"






Wednesday, February 8, 2012

ආගමේ බූදලයක් උනු අපේ ප්‍රකාශන අයිතිය.


තමන්ගෙ ආගමට අපහස කරල ගීතයක් නිර්මානය වෙලා කියල කට්ටියක් මහා සද්දයක් දානව. මාස ගනනාවක් තිස්සෙ කිසිම ප්‍රශ්නයක් නොමැතිව මාධ්‍යය ඔස්සේ විකාශය වුනු ගයාන් පෙරේරාගේ ටිකෙන් ටික ගීතයට එරෙහිව එක්වරම ලොකු විරෝධතාවයක් එල්ල වෙන්න පටන් අරන්. ගීතය නිකුත් වෙලා මාස ගනනාවක් ගිහිනුත් කාටවත් නොපෙනෙනු අපහසයක් එක් වරම පේන්න පටන් අරන්, කාගෙන්දෝ කට්ටිය එක්වරම මොලේ හෝදගෙන.

Blasphemy, එහෙමත් නැත්නම් ආගමික අපහසය කියන්නෙ ගොදුරක් නැති අපරාධයක්. අපහසය කියන්නෙ ඕනම දේකට ආදේශ කරන්න පුලුවන් නියම නිර්වචනයක් නැති සංකල්පයක්. යමක් අපහසයක් ද නැත්ද කියල තීරනය කරන්න අදාල ප්‍රකාශය කරපු පුද්ගලයගෙ හිත ඇතුලටම එබිල බලන්න වෙනව. උදා‍හරනෙකට අපි අපේ හිතවතුන්ට සමහර වෙලාවට විවිධ නම් වලින් ආමන්ත්‍රනය කරන්නෙ ඔවුන්ට රිදවන්න බලාගෙන නෙමෙය්. මේ නිසා වැදගත් වෙන්නේ පුද්ගලයාගේ අරමුනය්.

‍ආගමික රූපයක් ඇඳුමක යොදාගන්න පුද්ගලයෙක්ට තර්ක කරන්න පුලුවන් ඔහු එහෙම කලේ තමන්ගෙ ආගමට තියෙන භක්තියට කියල, තමන්ගෙ ආගම ප්‍රචාරය කිරීමේ අරමුනෙන් කියල. ඒ නිසා අරමුන ඒ පුද්ගලය විසින්ම පැහැදිලි කරොත් මිසක් පිටස්තරයෙක්ට තාර්කිකව ඔප්පු කරන්න පුලුවන් දෙයක් නෙමෙය්.

මේ වගේම ආගමික අපහස කියන්නෙත් ඕනම විදියකට හැඩ ගස්සල තමන්ගෙ වාසියට හදා ගන්න පුලුවන් දෙයක්. බොහෝ පිරිස් තමන්ගෙ ආගමික විශ්වාස විවේචනය වීම වලක්වා ගැනීමට උපක්‍රමශීලීව ඔය සංකල්පය පාවිච්චි කරනව. මැද පෙරදිග උදවියට තමන්ගෙ නායකයගෙ රූපය ඇඳීම අපහසයක් වෙද්දි, පකීස්ථානෙ අයට සිසුවෙක් ‍මුහම්මද් ගැන ලියවුනු කවියක් වැරදියට විභාගයකදි ලිවීමත් අපහසයක් වෙනව. මේ නිසා නිර්මානයකට තමන්ගෙ ආගමේ රූපයක් යොදා ගැනීමේ ඉඳන් තමන්ගේ ආගමික නායකයාගේ රූපයක් තිබෙන කාමරයක අධෝවාතයක් පිටකිරීම වෙනකන් ආගමික අපහසයක් හැටියට  හඳුන්වන්න පුලුවන්.

ආගමික අපහසය කියන සංකල්පයේ තියෙන මේ පදනම් විරහිත භාවය නිසාම එය තව දුරටත් බොහෝ රටවල් වල නීතියක් හැටියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. නමුත් ලංකාවෙ තවමත් ඔය යල්පැන ගිය නීති ක්‍රියාත්මක වෙනව.

එක්තරා මුස්ලිම් කන්ඩායමක ඉල්ලීමක් නිසා ඉරාජ්ගෙ මියුසික් වීඩියෝවක් තහනම් වෙනව, තවත් කිතුනු කන්ඩායමක් නිසා The Da Vinci Code චිත්‍රපටිය ලංකාවෙ ප්‍රචාරය වෙන්නෙ නැහැ. බෞද්ධ කන්ඩායමක ඉල්ලීමක් නිසා දලදා මාලිගාවේ රූප අඩංගු ටීශර්ට් තහනම් වෙනව, ගයාන් පෙරේරගෙ ගීතය තහනම් වීමට වැඩ කටයුතු සැලසෙමින් පවතිනව.
 
ඇත්තටම මේ තහනම් වෙන්නෙ මොනවද, අපේ ප්‍රකාශන අයිතිය, අපේ නිදහස. කලාව කියන්නෙ එක ආගමික කන්ඩායමක බූදලයක්ද, ඔවුන්ගේ හිත රිදුනු පලියට ලංකාවේ කලා නිර්මානයක් අනිකුත් සියලු ජනතා‍වගෙන්ම එය උදුර ගන්න?

දේශපාලකයන්, දේශපාලන මත ප්‍රහසනයට ලක් කරමින් කරමින් හෝ ඔවුන්ව වර්නනා කරමින් කාටූන් අඳින්න, ගීත නිර්මානය කරන්න අපිට ඉඩ තියෙනව, නමුත් අපිට ආගමට අමුතු ගෞරවයක් දක්වන්න, බියක් දක්වන්න සිද්ධ වෙලා. ආගමට විතරක් ලංකාවේ ජන සමාජය තුල අනික් කිසිම මතයකට නැති විශේශ බලයක් හිමි වෙලා.

ඒ බලය පිලිකාවක් වෙලා අද අපේ ප්‍රකාශන අයිතිය ටික ටික මරන්න පටන් අරන්. ඔබ නිර් ආගමිකයෙකු උනත්, අදාල ආගමික කන්ඩායමට අයිති නැති අන්‍යාගමිකයකු උනත්, කොටින්ම අදාල ආගමික කන්ඩායමට අයිති නමුත් අන්තවාදයට නොයන්නෙක් උනත්, ඔබේ රසාස්වින්දනයට ඇඟිලි ගහන්න, ඔබ කැමති ගීතයක් තහනම් කරවන්න, ඔබේම නිර්මානයක් තහනම් කරවන්න ඔවුන්ට බලය හිමි වෙලා, ඔබේ අරමුන කලා නිර්මානයක් හරහා ඔබේ අදහස් ප්‍රකාශ කිරීම පමනක් වුවත්.

දලදා මාලිගාවෙ රූපයක් ඇඳුමක මුද්‍රනය කිරීමට වඩා කට්ටියට ප්‍රශ්නයක් උනේ එය කාන්තා ඇඳුමක ලය ප්‍රදේශයෙ මුද්‍රනය වීම. කාන්තාව යනු අපිරිසිදු, කාන්තාවකගෙ පියයුරු කියන්නෙ අපිරිසිඳු, ලිංගික කර්තවයකට පමනක් යොදා ගත හැකි වලත්ත දෙයක් කියන අදහස නෙමෙය්ද මේ තමන්ගෙම අම්මගෙ පියයුරු වලින් කිරී බීල වැඩුනු අය කියන්නෙ?

මේ අපහස කිරිල්ල කොහෙන් නතර වෙය්ද, සමහර විට තව ටික දවසකින් ආගමික මධ්‍යස්ථානයක් අසලින් බස් රථයක යන විට ඉඳගෙන යාමත් තහනම් කරාවි. නැතිනම් රූපවාහිනියෙන් රේඩියෝවෙන් ආගමික වැඩසටහන් විකාශනය කරන වෙලාවට ගෙදර පුටුවෙ පවා ඉඳගන්න තහනම් කරාවි.

ආගමික නායකයන් ආගමික සිද්ධස්ථාන චිත්‍රයට නගන්න කලින් ඔබේ චිත්‍ර ඇඳීමේ හැකියාව මැනල බලන්න පටන් ගනීවි, මොකද රූප විකෘති වෙලා 'අපහසයක්' වෙන්න පුලුවන් නිසා.

එක් ආගමික කන්ඩායමකට අයත් සුලු පිරිසකගෙ වැඩ වලට ඒ මුලු කන්ඩායම වග කිව යුතු නැති බව මම විශ්වාස කරනව. එක් එක් පුද්ගලයන්ගෙන් මොල හෝද නොගෙන තනිවම හිතන ආගමිකයන්, තමන්ගෙ විශ්වාස අනුන්ට බලෙන් ඔබන්නට නොහදන ආගමිකයන්කෙන් කාටවත් කරදරයක් නැහැ.

ආගමික ලාංජන, ආගමික නායකයන්ගේ රූප ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රචාරය කරන කොට, ආගමික ගීත ලවුඩ්ස් පීකරයෙන් හැ‍‍මෝටම ඇහෙන්න  ප්‍රචාරය කරන විට අකමැති උනත් කැමති උනත් ඒව කාගෙත් එදිනෙදා ජීවිතයෙ කොටසක් බවට පත්වෙනව.

ජයමංගල ගාථා ආගමික කටයුතු වලට පමනක් යොදා නොගෙන මංගල උත්සවය වගේ සාමාන්‍ය ජීවිතයෙ අංගයකට යොදාගත්තම ඒක සංස්කෘතියෙ කොටසක් වෙනව. යම් කිසි නිර්මානකරුවෙක්ට අදාල මොහොත තාත්විකව නිර්මානය කරන්න ජයමංගල ගාථා යොදාගන්න වෙනව.

මේ නිසා ඔබගේ ආගමික ගොඩනැගිලි, සංකේත හෝ ශ්ලෝක හෝ ගීත වැනි දේ කලා නිර්මාන වල අඩංගු වීම වලක්වගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ එකම දෙයය්. ඔබේ ආගම හංගන්න. ඔබේ ආගමික ගොඩනැගිලි මිනිස්සුන්ට පේන්න තියන්න එපා, ලොකු තාප්පයක් ගහල වහල දාන්න. මොකද ඒ ගොඩනැගිල්ලෙ ආකෘතිය ලස්සනය් කියල හිතුනොත් කලාකරුව ඒක චිත්‍රයකට නගල ටීශර්ට් එකේ ප්‍රදර්ශනය කරනව.

ඔ‍බගේ ආගමික ගීතයන් කලාකරුවන් සහභාගී වන උත්සව වල වාදනය කරන්න එපා, මොකද ඔවුන්ට හිතුනොත් ඒක ලස්සනය් කියල , ගීතයකට යොදාගනීවි.

කරුනාකර ඔබේ ආගමික ලාංජන, ආගමික නායකයන්ගේ රූප මම බලන රූපවාහිනී නාලිකා වල ප්‍රදර්ශනය කරන්න එපා, මම යන එන මග තොටේ ප්‍රදර්ශනය කරල මට බලෙන් පෙන්නන්න එපා. මොකද ඒව ලස්සන නම්,  කලා නිර්මානයකට අවශ්‍ය නම් මිනිස්සු ඒව යොදා ගන්නව

ඒ නිසා ඔබේ ආගම බලෙන් මගේ ජීවිතයට ඇතුලත් කරල ඊට පස්සෙ මගේ ජීවිතය ප්‍රකාශ කරන්න මම ඒව යොදාගත්තම මට චෝදනා කරන්න එපා.

මේ නිසා ඔබගේ ආගම ඔය ප්‍රකාශන මාධ්‍යයන්ගෙන් වෙන් කරගන්න අවශ්‍ය නම් කරුනාකර ඔබගේ ආගම රහසිගත සංවිධානයක් කර ගන්න, එය මටත් ලෝකයටත් කරන ලොකු උපකාරයකි. ඔබට කැමති ආගමක් ඇදහිමේ අය්තියට මම ගරු කලත්, ඒ ආගම පාවිච්චි කොට මගේ නිදහස අවහිර කරනවාට මම එකඟ නැත. ඔබගේ ආගම ඔබේ බූදලයක් විය හැක, නමුත් කලාව ඔබේ බූදලයක් නොවේ, මගේ අදහස් ඔබේ වහලෙක් නොවේ.






Wednesday, January 18, 2012

රෑපවාහිනියට යකෙක් ගහය්


සිහින පියාපත් කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ හෝ ෆැන්ටසි වර්ගයේ ටෙලි නාට්‍යයක් නෙමෙය්. රාත්‍රි කාලයෙ විකාශය වෙන තවත් මෙගා ටෙලි නාට්‍යයක්. මූලික කතාව ගැන අමුතුවෙන්  විස්තර කරන්න අවශ්‍ය නැත්තෙ හැම මෙගා එකකම තියෙන්නෙ එකම කතාව නිසා. කතාවකට වඩා පවුලක් අස්සෙ වෙන අගක් මැදක් මුලක් නැති සිදුවීම් මාලාවක එකතුවක්.

ඒත් එකපාරටම මේ කතාවෙ අපූරු සිදුවීමක් වෙනව. බෝතලේක හිර කරල හිටපු අවතාරයක් නිදහස් වෙලා කතාවෙ චරිත බය කරන්න පටන් ගන්නව. සාමාන්‍යයෙන් තාත්වික කතාවක් තුල සිදු නොවෙන දෙයක්. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ වෛද්‍යවරියක් සහ වෛද්‍ය වෘතියේම නියැලෙන ඇයගෙ සැමියා.

"විද්‍යාවට හසු වෙන්නෙ නැති කොච්චර දේවල් මේ ලෝකෙ තියෙනවද".හොල්මන දකින වෛද්‍යවරයා තමන්ටම කියා ගන්න ගමන් කට්ටඬියෙක් හොයාගෙන යනව. තමන්ගෙ බිරිඳටත් විද්‍යාවේ නොහැකියාව ගැන කිහිප වාරයක් දේශනා කරනව.

බෝතලේ ඇතු‍ලෙ හිර වෙලා ඉඳල එලියට පැන්නෙ හොල්මනක් විතරක් නෙමෙය්,  සමාජ යථාර්තයක්. 

අපේ රටේ භෞතික විද්‍යාඥයො පෝයට සිල් අරන් රූපවාහිනී වලට ඇවිත් බන කියනව. ෆොටෝශොප් කරල හදපු බූත ඡා‍යාරූප පෙන්නනව. කිර්ලියන් කැමරා වලට බූතයො පේනව කියනව. සමහර භෞතික විද්‍යාඥයො දෙවි වරුන්ගෙ උදව්වෙන් පරීක්ශන පවත්වනව.

මනෝ උපදේශකවරුන්ට ආගම ගාවගන්නෙ නැතුව උපදෙස් දෙන්න අමාරු වෙනව. ම‍නෝවෛද්‍යවරු මෝහනයෙන් පෙර ආත්මය කියවනව. රූපවාහිනී නාලිකා කනප්පුවෙන් හොරු අල්ලනව.

නෙත් ‍එෆ් එම් පැත්තකට වෙලා ඉන්දන් කට්ටඬින්ට කින්ඩිය දානව, විශ්වාස පද්ධති වලට 'මිත්‍යා විශ්වාස' ලේබලේ ගහනව. එහෙම කියන ඒ උන්දලම වෙන ආගමක් ප්‍රමෝට් කරනව, ඒක රකින්න පෙනී හිටින ආගමික පොලිසියක් වෙනව.

විද්‍යාවෙන් දැනට හොයාගෙන නැති දේ ඕන තරම් දේ තියෙන්න පුලුවන් කියන කාරනාව අපේ අය දෙවරක් නොහිතා ඕනෑම සුරංගනා කතාවක් සියයට සියයක් විශ්වාස කරන්න හේතුවක් කරගෙන. ලෝකයෙ වෙනත් රටවල් වලින් බහු බූත වලින් ඈත් වෙලා තමන්ව හොයා ගෙන යනකොට අපි අපෙන් ඈත් වෙලා තරු වලින් අනාගතේ අහනව, අපි අත්දකින්නෙ නැති දේවල් ගැන විශ්වාසෙ තියාගෙන හීන ලෝකෙක ජීවත් වෙනව.

මෙගා නියෝජනය කරන්නෙ ඔය සංස්කෘතිය. මෙගා කාරයො හොන්දට දන්නව තමන්ගෙ ප්‍රේක්ශකයො වෙන්නෙ කව්ද කියල. රස්සාවෙන් පස්සෙ ගෙදර ඇවිත් රූපවාහිනය ඉස්සරහ වැටෙන මිනිස්සුන්ටය්, බත් හැලියෙන් එහාට ජීවිතයක් නැති කාන්තාවොන්ටය් ආතල් දෙන එක තමය් මෙගා වල රාජකාරිය. හැම මෙගා එකක්ම සුපිරි ජීවිත ගත කරන චරිත වටා ගෙතෙන්නෙ ඒ හින්දය්, මොකද මෙගා ප්‍රේක්ශකයගෙ හීන හැදිල තියෙන්නෙ ඒවයින්.

ඒ විදියටම අපේ අයගෙ "විද්‍යාවට වඩා අපි ඉදිරියෙන්" මානසිකත්වයත් මෙගා වලට රිංග ගෙන. කතාවට කිසිම ගැලපීමක් නැති හොල්මනක් දාල වෛද්‍ය චරිතයක් විද්‍යාව නියෝජනය කරන්නෙකු හැටියට පෙන්නුම් කරල, ඒ චරිතෙන්ම විද්‍යාව පහත් කරවන එකෙන් මෙගා කාරය බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ ප්‍රේක්ශකයගෙ හිත දිනා ගන්න. මෙගා කාරය දන්නව ලංකාවෙ මිනිස්සු තමන්ගෙ අසූචි උනත් සුද්දගෙ දියමන්ති වලට වඩා හොඳය් කියල හිතා ගෙන ස්වයං වින්දනය කරන්න කැමති බව.

තවත් නාලිකාවක විකාශය වෙන මෙගා නාට්‍යයක ඉන්න මැර චරිතයක් යහපත් මිනිහෙක් වෙනව. මිනිහ යහපත් වෙන්නෙ සුදු ඇඳල, පන්සල් ගිහින් මල් පූජ කරන්න, භාවනා කරන්න පටන් අරන්. හොඳ මිනිහෙක් වීම කියන්නෙ සුදු ඇඳීම, ඒත් නැත්නම් ආගමීකරනය වීම කියල අපේ මිනිස්සු දරන හිස් මතය මේ නාට්‍යයෙන් හොඳට නිරූපනය වෙනව.

මෙගා වල ඔහොම වෙද්දි සිරස ටීවී ගලක් අරන් රට වටේ යනව. චීත්ත රෙද්දක් ඇඳ ගත්තු වයසක කාන්තාවක් ඇවිල්ල ගලට හූනියමක් කරනව කැමරාව ඉස්සරහම. ඔහොම අයට තමය් අද අපේ රටේ දේශපාලන බලය තියෙන්නෙ.

ඔහොම අයට ඇම දාගන්න තමය් මොන දේශපාලකයත් හදන්නෙ, සජිත් වගේ. ආගමික මධ්‍යස්ථාන වලට සල්ල බෙදමින්, කුරානෙ, බයිබලයෙ, ත්‍රිපිටකයෙ වාක්‍යය කියවමින්, ආගම දේශපාලනය ඔක්කොම පටලවගෙන සජිත් හදන්නෙ ජන මනස හඳුන ගත් නායකයෙක් වෙන්න.

තව දේශපාලකයො පිරිසක් ප්‍රශ්න දෙවියන්ට බාර කරනව, කෝවිල් ගානෙ ගිහින් පොල් ගගහ කන්නලව් කරනව.දැන් දැන් රනිලුත් ඔය මානසිකත්වය ගැන  ඉගෙන ගන්නව. සිරිකොතේ බුදු පිලිමෙට වැදිච්ච ගල ගැන රනිල් කිඹුල් කඳුලු හෙලන්නෙ බෞද්ධයගෙ හැඟීම් කතා කරල ඡන්ද ටිකක් හොයා ගන්න.

සිරසත් තමන්ගෙ සජිත් ප්‍රොපගැන්ඩාවට ඔය උපක්‍රමය හොඳට පාවිච්චි කරනව. අහවල් නායකයට පූජ්‍ය පක්ශය කැමති නැතැය් කියල සිරස විශේශ ප්‍රවෘත්ති දානව. ඕකට කෙන්ති ගන්න රනිල් ජනමාධ්‍යය‍ට නීති ගේන්න හදනව.සිරස තමන්ගෙ ප්‍රොපගැන්ඩාවට "නිදහස් මාධ්‍ය භාවිතය" ලේබලේ ගහගෙන වෙනත් දේශපාලන පොරවල් ලව්ව රනිල්ගෙ නීති වලට"බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන" ලේබලේ ගහනව.

ඒ ලේබලේ වැදෙන ඕනෙම දෙයක් මිනිස්සුන්ගෙන් ප්‍රතික්ශේප වෙන බව සිරස දන්නව. සිරස දේශපාලකයොන්ව කටුස්සන්ට, කොටලුවන්ට, සෝරෝට අන්දනව, අඬන අලින්ගෙ කාටූන් දාල බයිට් කරන්න හදනව. ඔය අද අපේ රටේ ජනමාධ්‍ය පත්වෙලා තියෙන තත්වය.

අපේ ටෙලිනාට්‍ය කලාවෙ ඉන්දන් ප්‍රවෘත්ති වෙනකන්ම ප්‍රමිතිය බාල වෙලා. රූපවාහිනිය, දේශපාලකය, මහාචාර්යවරු  මිනිස්සුන්ගෙ බහු භූත වලට අනුව හැඩ ගැහිල. ඒ බහු භූත පාවිච්චි කරේ නැත්තන් තමන්ගෙ සාක්කු පිරෙන්නෙ නැති බව මේ හැමෝම දන්නව. රූපවාහිනියෙ ඉන්දන් ප්‍රේකශකය දක්වා හැම එකාටම යක්කු ගහල.




Friday, January 13, 2012

වෙජිටේරියන් අන්තවාදියෝ



අපේ රටේ ගොඩක් මතවාද පතුරවන්න හදන්නෙ බුද්ධියට කතා කිරීමෙන් නෙමෙය්, යුධමය විදියට. ‍විරුද්ධ මත දරන මිනිස්සුන්ට තර්ජනය කරමින්, කුනුහර්පෙන් බනිමින්, බලහත්කාරකම් කරමින්. අපේ රටේ ඔය විදියට ගෙනියන්න හදන තවත් මතයක් තමය් නිර්මාංශිකත්වය.

"මස් කෑම වැරදිය්, ඒ නිසා නිර්මාංශී වන්න"

අපේ රටේ මධ්‍යම පන්තියේ අයගේ මතවාද කුට්ටි පිටින් අන්තර්ජාලයට එද්දි රටේ බුද්ධිමත් යැය් සම්මත අය රූපවාහිනියට ඇවිත් අතේ කොල ටිකක් තියාගෙන බැරෑරුම් විදියට ඒ ටිකම කියනව. මිනිස්සුත් කට ඇරන් බලන් ඉන්නව.

අද නිර්මාංශිකත්වය කියන මාතෘකාවට වෙලා තියෙන්නෙ ඔය දේමය්. තමුන්ගෙ පාඩුවෙ නිර්මාංශික ආහාර ගන්න මිනිස්සු ලංකාවෙ ඕන තරම් ඉන්නව. තව පිරිසක් හැමතිස්සෙම අනුන්ට වද දිදී නිර්මාංශිකත්වය ගැන දේශනා පවත්වන්න යනව.

එක කඳවුරක් අන්තර්ජාලයේ සත්තු මරන දර්ශන ඡායාරූප දාල, මස් කන මිනිස්සුන්ට 'කාලකන්නි' නැත්තන් 'පව්කාරය' ලේබලේ ගහල, කුනුහර්පෙන් බැනල මිනිස්සුන්ව නිර්මාංශික කරන්න හදනව.

බොහෝ වෙලාවට ඔහොම කරන්නෙ මිනිස්සුන්ව නිර්මාංශ කිරීමේ අරමුනටත් වඩා, මස් නොකන නිසා තමන් සුදනෙක් කියල ලෝකෙට කෑගහල කියල පොඩි මානසික වින්දනයක් ලබන්න.

අනික් කඳවුරේ අයත් කුනුහර්පෙන් ප්‍රතිචාර දක්වමින් මස් කන එක හොඳය් කියන්න හදනව. ඒ අතරෙ එක එක්කෙනාගෙ ආගම් වලට, ආගමික නායකයන්ට බැන ගන්නව. කිසිම හරයක් නැතුව කතාව ඉවර වෙනව. මම පැත්තකට වෙලා කඳවුරු දෙක දිහාම හිනා වෙමින් හැබැය් අප්පිරියාවෙන් බලන් ඉන්නව.

ඔය අපේ රටේ අන්තර්ජාලයෙ නිර්මාංශිකත්වය ගැන සංවාද කියන වචන‍යටත් අපහස කරමින් සංවාද කරන හැටි. රූපවාහිනියෙ කෙරෙන්නෙත් නමට විතරක් සංවාද. TNL රූපවාහිනයෙ කාලෙන් කාලෙට නිර්මාංශිකත්වය ගැන වැඩසටහන් කරනව. හැබැය් ලංකාවෙ බහුතරයක් වැඩසටහන් වල වගේ එතනත් කරන්නෙ එක මතයක් දරන පිරිස් ටිකක් ගෙනල්ල ඒ මතය ප්‍රමෝට් කර ගන්න හදන එක මිසක් විරුද්ධ මත වලටත් තැන දීල සංවාදයක් ඇති කරන්න හදන එක නෙමෙය්.


විවිධ ආගම් නියෝජනය කරන පූජකයන් සහ නිර්මාංශික වෛද්‍යවරු ගෙනල්ල විරුද්ධ මත නොමැතිව කරන මේ වැඩසටහන් වලින් කෙරෙන්නෙ ප්‍රේක්ශකයන්ගෙ මොල හේදීමක් පමනය්. ඒ වගේම PETA වගේ සංවිධාන තමන්ගේ ප්‍රොපගැන්ඩාවට යොදාගන්නා සත්ව ගාතන වීඩියෝ පට පෙන්නල කරන්න හදන්නෙ මිනිස්සුන්ගෙ හැඟීම් වලට කතා කිරීමක් මිස බුද්ධියට කතා කිරීමක් නෙමෙය්.

වෙන රටවල් වල නිර්මාංශිකත්වය ගැන, සත්ව නිශ්පාදන වලින් වැලකී සිටීම ගැන කතා බහක් ඇති වෙද්දි අපේ රටේ වෙන්නෙ ‍තනි මතයක් රජ කරවන්නට හැදීම. විදේශිකයො තමන්ගෙ නිර්මාංශිකත්වයට ආගම ඈඳගන්නෙ නැහැ. නමුත් අපේ රටේ මේ දෙක එකිනෙකට බැඳිල තියෙන්නෙ.

යම් පුද්ගලයෙක් තමන්ගෙ ආගමික ඉගැන්වීම් නිසා නිර්මාංශ වුනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ ඔබේ ආගමික විශ්වාසයක් නිසා තව කෙනෙක්ව නිර්මාංශික කරවන්න හදනවනම් ඒක අසාර්ථකය්. මොකද ආගමික ඉගැන්වීම් කියන්නෙ විශ්වාස ගොන්නක් පමනක් නිසා. යම් කිසි පුද්ගලයෙක් ඔබේ ආගමික ඉගැන්වීම් විශ්වාස කරන්නෙ නැත්නම් එතනදි ඔබේ තර්ක සියල්ල බිඳ වැටෙනව.

අපේ රටේ ආගමික විශ්වාස නිසා නිර්මාංශ වුනු විශාල ප්‍රමානයක් ඉන්නව. සමහරු ගව ගාතනය නවත්වන්න රජයට බල කරනව, සමහරු මස් පරිභෝජනය තහනම් කරවන්න හදනව. එය තනිකර ආගමික බලහත්කාරකමක්. තමන්ගෙ ආගමික විශ්වාස අනුන්ට බලෙන් පැටවීමක්. ආගමික නොවන හේතුවකට උනත් මිනිස්සුන්ගෙ ආහාර පරි‍භෝජනයට වැට බැඳීම සාධාරන නැහැ. හරකුන්ට නිදහස දීමට මිනිස්සුන්ගේ නිදහස නැති කරන්නට හැදීම විහිලුවක්. නිර්මාංශ වීම හෝ නොවීම තීරනය කිරීමට පුද්ගලයෙක්ට අය්තියක් තිබිය යුතුය්.

තවත් පිරිසක් ඉන්නව සදාචාරාත්මක හේතු මත මස් නොකන. තවත් ජීවියෙකු තමන්ගේ ආහාරය වෙනුවෙන් පාවිච්චි කිරීම ඔවුන්ට අනුව සදාචාරයට පටහැනිය්. තමන් ඒ විශ්වාසය කරපින්නා‍ ගෙන හිටියට කමක් නැහැ. නමුත් අනුන්ට ඒ විශ්වාසය ඔබන්න එනකොට ඔවුන් අමතක කරන කාරනය තමය් සදාචාරය කියන්නෙ මිනිස්සු විසින්ම හදාගත්ත, පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වන නීති ටිකක් කියන එක.
 
Morality, එහෙමත් නැති නම් සදාචාරය, සරලව කිව්වොත් 'හරි' සහ 'වැරැදි' කියල අපි විශ්වාස කරන දේඇති වුනේ කොහොමද කියල විවිධ පුද්ගලයො විවිධ මත ඉදිරිපත් කරනව. පරිනාමනය සමඟ බැඳුනු Selfish Gene න්‍යායට අනුව සත්ව කොට්ඨාශයන් ආත්මාර්ථකාමීව තම පැවැත්ම තහවුරු කර ගන්න උත්සහ කරනව. ආදරය, කරුනාව, වගේ හැඟීම් අපිට මිනිස්සු හැටියට අපේ පැවැත්ම තහවුරු කරගන්න උදව් වෙනව. මිනිස්සු එකිනෙකාට ආදරය නොකලානම් අපි එකිනෙකාව මරාගෙන වඳ වෙලා යන්න පුලුවන්. අම්ම කෙනෙක් ලමයින්ට ආ‍දරේ නොකරනවනම් ඔවුන් අනතුරට ලක් වෙන්න පුලුවන්. ඒක මනුස්සයන් හැටියට අපේ වර්ගයා ඉදිරියට පවත්වගෙන යාමට වෙන බාධාවක්. මේ නිසා හැඟීම් නිර්මානය කරල පරිසරය අපේ වර්ගය ආරක්ශා කර ගැනීමට අපිව පොලඹවනව.

ඔය විදියට මානවයො ඔවුන්ගෙ පැවැත්මට උදව් වෙන දේ අපි 'හරි' දේ කියලත්, පැවැත්මට බාධා කරන දේ 'වැරදි' කියලත් සම්මත කරගත්ත.

නමුත් වර්තමානයට එද්දි සදාචාරය කියන සංකල්පය තවත් සංකීර්න වෙනව. අපි හරි වැරැද්ද තනිවම තීරනය කරනවට වඩා ආගම, දේශපාලනය, සංස්කරෘතිය, නීතිය වැනි රාමු වලට උවමනා විදියට තීරනය කරන්න පටන් අරන්. නමුත්, මිනි මැරීම වැරදිය්, හොරකන් කිරීම වැරදිය් කියන විශ්වාස කිහිපයක් හැරුනම අනිත් සියලු සදාචාරාත්මක නීති පුද්ගලයගෙන් පුද්ගලයට, රටින් රටට වෙනස් වෙනව. එක රටක ප්‍රසිද්ධියේ සිප ගැනීම වැරැද්දක් හැටියට දකිනව, තව රටක ඒක සාමාන්‍ය දෙයක්. එක රටක පූසො සුරතලයට ඇති කරන කොට තවත් රටක පූසො නතර වෙන්නෙ කෑම පිඟානෙ.

සතෙක්ගෙ මල කුනක් දකින කොට වඩා මැරුනු මිනිහෙක් දකින කොට අපිට වැඩියෙන් හැඟීම් ඇති වෙන්නෙ අපේ හිත් ඇතුලෙ අපේ වර්ගයාට තියෙන බැඳීම වැඩි නිසා. මැරෙන්න යන සතෙක් හෝ මනුස්සයෙක් බේර ගන්න එක අවස්ථාවක් හම්බුනොත් අපි බේර ගන්නෙ මනුස්සයව. ඒ බැඳීම නිසා අපි එක එකාව මරන් කෑවෙ නැති උනාට අනිත් ජීවීන්ව මරන් කනව, මරන් කන්න සිද්ධ වෙලා තියෙනව.

හරක්ට, කුකුලොන්ට විතරක් නෙමෙය් ගස් වැල් වලට පවා පන තියෙනව. නමුත් අපි ගස් වැල් පරිභෝජනය කරන එක වැරැද්දක් විදියට දකින්නෙ නැත්තෙ ගස් වැල් කෑගහන්නෙ නැති නිසා, මරන කොට දුවන්න හදන්නෙ නැති නිසා. නිර්මාංශිකයකුට උනත් අන්තිමේදි මූන දෙන්න වෙන යථාර්තය ඕකය්, ජීවිතයක් හැදෙන්නෙ තව ජීවිතයක් නසල.

හරි වැරැද්ද කියන දේ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන නිසා තමන් වැරදිය් කියල හිතන දේ කරන මිනිස්සුන්ට 'කාලකන්නි' ලේබලේ ගහන එක සාධාරන නැහැ, විශේශයෙන්ම ඒ පුද්ගලය කරන ක්‍රියාවෙන් මනුස්ස සමාජයට අවැඩක් නැත්තන්.

සමහරු ඔය වෙලාවට අහනව එතකොට මිනිස්සු මරන එකත් සාපේක්ශ විශ්වාසයක් කියල අපි නිකන් ඉන්න ඕනද කියල. නැහැ, මොකද මිනිස්සු මරන පුද්ගලයෙක්ගෙන් ඔබට හානියක් වෙන්න පුලුවන්. අපි මිනිස්සු එකනෙකා මරාගන්න සමාජයක හිටියනම් ඒ සමාජය කඩන් වැටෙනව. අපිට කොය් වෙලාවෙත් මර බියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනව. නමුත් සත්තුන්ව ආහාරයට ගන්න පුද්ගලයෙක්ගෙන් ඔබටවත් වෙන කාටවත් කරදරයක් නැහැ. ඒ නිසා මස් කෑව කියල මිනිහෙක් නරක පුද්ගලයෙක් වෙන්නෙවත්, මස් නොකෑව කියල මිනිහෙක් සුදනෙක් වෙන්නෙවත් නැහැ.

සදාචාරාත්මක හේතු ගැන වද නොවී සෞඛ්‍යමය හේතු සහ පාරිසරික හේතු වලට පමනක් නිර්මාංශික වෙන පුද්ගලයො පිරිසකුත් ඉන්නව. නමුත් ඔවුන්ගෙනුත් නිර්මාංශිකත්වය පැතිරවීම තම අරමුනු කරගත්ත පිරිස් ඉන්නව වගේම ඔවුන් උවමනාවෙන්ම නිර්මාංශ වීමේ ‍අහිතකර සෞඛ්‍ය බලපෑම් අමතක කරල හිතකර බලපෑම් ගැන පමනක් කතා කරනව. නිර්මාංශ වීම නිසා ඇතිවිය හැකි B12 ඌනතාවය වගේ කරුනු මග හරිනව. අනවශ්‍ය ලෙස මස් පරිභෝජනයෙන් රෝගා බාධ ඇති වෙන්න පුලුවන් වගේම තනිකර මස් ප්‍රතික්ශේප කිරීමෙන් සමහරකට පෝශන ඌනතා තත්ව ඇති වෙන්න පුලුවන් බව ඔවුන් සඳහන් කරන්නෙ නැහැ. මේ නිසා විය යුත්තෙ කරුනු හැකි තරම් සමබර කොට ඉදිරිපත් කිරීමය්.

ඒ වගේම ජීවිතය පවත්වාගෙන යන්න එලවලු හොඳටම ඇති නිසා නිර්මාංශ වෙන්න කියල කියන ඈයො තවත් දෙයක් අමතක කරනව. මිනිස්සු කරන දේවල් වලින් බහුතරයක් ජීවිතය පවත්වගෙන යාමට අවශ්‍ය දේ නෙමෙය්. අන්තර්ජාලය භාවිතය, පොත් කියවීම, රූපවාහිනී නැරඹීමේ ඉන්දන් උදේට මූන හේදීම දක්වා අපිට ජීවිතය පවත්වා ගෙන යන්න අවශ්‍ය දේ නෙමෙය්. එහෙනම් කැලේකට වැදිල, දවසකට වතුර උගුරක් බීල, ඇට වර්ග ටිකක් කාල ජීවිත් වෙන එකය් තියෙන්නෙ. නමුත් මිනිස්සු කැමති සතුටින් ජීවත් වෙන්න, ඒ සතුටෙන් තවත් මනුස්සයෙක්ට කරදරයක් නැත්නම් ඔවුන්ට එයට ඉඩ තිබිය යුතුය්. ඒ නිසා මිනිස්සුන්ට මස් වලට තියෙන කැමැත්ත යටපත් කරගැනීමට බල කිරීමට එය සාධාරන නැහැ.

විය යුත්තෙ නිර්මාංශිකත්වය ගැන සාධාරන සංවාදයක් ඇති කිරීම මිසක් නිර්මාංශිකයන් පොරවල් විදියට පෙනී සිටින්න උත්සහ කිරීම නෙමෙය්. මොකද ඒක මහ පොර වැඩක් නෙමෙය්. ඕනම පාදඩයෙක්ට මස් නොකා ඉන්න පුලුවන්. හිට්ලරුත් නිර්මාංශිකයෙක් කියල සමහර මූලාශ්‍ර වල සඳහන් වෙනව. ඒ නිසා අනුන්ගෙ පිඟාන දිහා බලල චරිත සහතික දෙන්න හදන්න එපා.

ඔබ කැමති නම් මස් නොකා ඉන්න, නැත්නම් ඒ ගැන බුද්ධිමත් සංවාදයක යෙදෙන්න, නමුත් ඔබේ මත බලෙන් අනුන්ගෙ කරේ පටවන්න යන්න එපා. ඒ වගේම මස් කන අයත් නිර්මාංශිකයන්ගේ තීරනයට ගරු කරන්න, ඔවුන්ව අමුතු පුද්ගලයො හැටියට හංවඩු ගහන්න එපා.  ඒ වගේම ඔබ මස් කන්න අකමැතිනම් එය පෞද්ගලික තීරනයක් කරගන්න. එය රටේ නීතියක් වෙන්න ඕන කියල හිතන ඔබ කරන්න හදන්නෙ මිනිස්සුන්ගෙ කටවල් වලට දම්වැල් දාල, සත්තු ‍දම්වැල් වලින් නිදහස් කරන්න.

මට මස් කෑම දිරිමත් කරන්න කිසිම උවමනාවක් නැහැ, නිර්මාංශිකත්වය දිරිමත් කිරීමට රුදාවකුත් නැහැ. මම දිරිමත් කරන්නෙ එකම එක දෙයය්. "කන්න, අනුන්ට කන්න ඉඩ දෙන්න".





Wednesday, December 28, 2011

ගැහැනිය දූශනය වන්නේ ගැහැනිය විසින්මය්


"ගැහැනිය දූශනය වන්නේ ගැහැනිය විසින්මය්", ලංකාවෙ ආගමික පූජකයකු කියනව මට ඇහුන. ඔහුගෙ දේශනාවෙ බොහොමයක් තිබුනෙ ඇඳුම් පැලඳුම් කොන්ඩ විලාසිතා ගැන විවේචන. දැන් කාලෙ ගෑනු ලමය් ඇඟ පේන්න අඳිනව. ඒ නිසා ස්ත්‍රී දූශන වලට වරදකාරයො පිරිමි නෙමෙය්, පිරිමින්ව අවුස්සන ගෑනුමය්. ඔව්, ඒ ඔහු කියන්න උත්සහ කරපු දේ.

කැනඩ වලත් මාස ගානකට කලින් පොලිස් නිලධාරියෙක් ඔය කතාවම කිව්ව. ප්‍රතිපලය උනේ දහස් ගනන් කාන්තාවො SlutWalk කියන නමින් විරෝධතාවයක් පැවැත්වීම. අපේ රටේ විරෝධතා ඇති නොවුනට ඔය කතාව අපිට අපේ රටේ බුද්ධිමත් යැය් සම්මත පුද්ගලයන්ගෙන්, විවිධ ආගම් නියෝජනය කරන පූජකයන්ගෙන් හැමදාම ඇහෙනව.

ඔය උඩ තියෙන්නෙ ලෙසතෝ කියන රටේ සාමාන්‍ය කාන්තාවන්ගෙ ඡායාරූපයක්. 2008 ස්ත්‍රී දූශන පිලිබඳ දත්ත වාර්තා වල අංක එකේ ජයග්‍රහකය උනේ ලෙසතෝ. කෝ කොට ගවුම්, ඇඟ පේන්න අඳින ඇඳුම්? එහෙම ඇඳුම් මිලදී ගන්නවත් ඔවුන්ට වත්කමක් නැහැ. ආර්ථික වශයෙන් වගේම සාමාජීය වශයෙනුත් ඔවුන් ඉන්නෙ පිටිපස්සෙ. අපේ ‍ගොඩක් උගත්තු ස්ත්‍රී දූශනය ගැන ඉදිරිපත් කරන න්‍යාය හැටියට එහෙනම් මේ රටේ ස්ත්‍රී දූශන ගොඩක් අඩු වෙන්න ඕනෙ.

ගෑනු කොටට වල් විදියට ඇන්දන් ගියාම උන්ගෙ සෙක්සි පෙනුම නිසා අහින්සක කොල්ලො ඇවිස්සෙනව. ඉතින් ඒ අසරන හා පැටව් වගේ කොල්ලො ගිහින් අර අධම වලත්ත ගෑනුන්ව දූශනය කරල ආසාව පිරිමහ ගන්නව, උන් ඒකට සුදුසුය්, හොඳ වැඩේ වල් ගෑනුන්ට. ඕකය් දූශනය ගැන අවාසනාවට අද අපේ රටේ සමාජගත වෙලා තියෙන මතය.

ස්ත්‍රී දූශනයක් කියන්නෙ කිසිම විදියකින් ලිංගික ආසාව අරමුන කරගත්තු ක්‍රියාවක් නෙමෙය්. බලය, වෛරය අරමුනු කරගත්තු ක්‍රියාවක්. ලමා කාලෙ අමිහිරි අත්දැකීම්, තමන්ගෙ පෞද්ගලික ජීවිතයේ තියෙන බල රහිත බව, තමන් මුහුන දුන් අත්දැකීම් නිසා කාන්තා සංහතියට දක්වන වෛරය ස්ත්‍රී දූශනයට පොලඹවන බව පර්යේශන වලින් හොයාගෙන තියෙනව. ලිංගික ආසාව ඕකෙ කොටසක් විතරය්. ඒ වගේම දූශකය තමන්ගෙ ගොදුර හැටියට යොදා ගන්නෙ පෙරලා සටන් කිරීමේ හැකියාවක් නැති අය, එහෙමත් නැත්නම් අතීතයෙ තමන්ට කාන්තාවක් ගැන අසුන්දර මතකයක් තියෙනවනම් ඒ කාන්තාවගෙ පෙනුමට සමාන අයව.

ලිංගික ආසාව සංසිඳවා ගැනීම ස්ත්‍රී දූශනයේ අරමුනනම් තමන්ගෙ ජීවිතයෙ ඒ අවස්ථාව හම්බවෙන මිනිස්සු ස්ත්‍රී දූශන වලට නොපෙලඹවී ඉන්න ඕනෙ. නමුත් ස්ත්‍රී දූශකයො අතරෙ විවාහක, එහෙමත් නැතිනම් පෙම්වතියො ඉන්න මිනිස්සු බහුලය්. ඇඟ පෙනෙන ඇඳුම් ඕවට පොලඹවනවනම් එහෙනන් හැම පිරිමියම ස්ත්‍රී දූශකයො වෙන්න ඕනෙ. නමුත් එහෙම වෙලා නැහැ. හැම පිරිමියම, ලංකාවෙ පිරිමි පවා රහසින් කැමතිය් ගෑනු ඇඟ පේන්න අඳිනවට, පාර තොටේදි හොරෙන් බලන්න. ඒ උනාට ඒ හැමෝම ස්ත්‍රී දූශකයො වෙන්නෙ නැහැ.

ගෑනු ඔහොම අඳින්නෙ පිරිමින්ට පේන්න, කට්ටියක් කියනව. ඔව් හරි, එතකොට පිරිමි ලස්සනට ඇඳල යන්නෙ පිරිමින්ට පේන්නද, නැත්තන් පාරෙ යන බල්ලොන්ට පේන්නද. පිරිමි ගෑනු දෙපාර්ශවයම කැමතිය් විරුද්ධ ලිංගිකයන්ගෙ ආකර්ශනය හම්බෙනවනම්. හැබැය් ඒකෙ තේරුම ඔවුන් හොයන්නෙ තමන්ව දූශනය කරන්න පිරිමියෙක් කියන එක නෙමෙය්. ඔවුන් හොයන්නෙ නිකන්ම නිකන් ආකර්ශනය, නැතිනම් සම්බන්ධතාවයක්. මේ මිනිස්සු කියන විදියට කොටට ඇඳල යන ලස්සන තරුනියක් දැකල ආසාවක් ඇති උනත්, ඒකට විසඳුම ඇයව දූශනය කිරීමද, ඇය් ඒ මනුස්සයට බැරි ඔය තරුනියත් එක්ක සම්බන්ධතාවයක් පටන් ගන්න, දූශනය වෙනුවට ආදරේ කරන්න.

ඒත් මේ මිත්‍යාව වසර ගානක් තිස්සෙ පැවතගෙන ආව. තාමත් පවතිනව. දූශකයාගේ මානසික අසහනයට වරද්ද නොපටවා වද වේදනා වලට ලක් වුනු කාන්තාවට වැරැද්ද පැටවීම කොච්චර අසාධාරන කාලකන්නි වැඩක්ද. සමාජය පාලනය කිරීමේ වැඩි වගකීම කාන්තාවට පැටවීම කොතරම් අසාධාරනද. ඇඟ පේන්න අඳින ගෑනු දූශනයට සුදුසු වේ කියල මේ සමාජ ගත කරල තියෙන මතය කොච්චර හානිකරද.

ඒ ආගමික පූජකය ඔය කතාව කිව්වෙ ලංකාවෙ පාසලක දහස් ගානක් හැදෙන වයසෙ ඉන්න පිරිමි දරුවො ඉස්සරහ. කොල්ලනේ උඹලගෙ වැරැද්දක් නැහැ, ගෑනු ඇඟ පේන්න අඳින එක තමය් වැරැද්ද, ඒක නිසා ඇඟ පේන්න ඇඳන් ඉන්න ගෑනියෙක් දැක්කොත් දූශනය කරපල්ලා, මොකද උඹලට නිදහසට කාරනයක් තියෙනව, කියන මතය නෙමෙය් ද ඔය ප්‍රකාශයෙන් ලමයින්ගෙ ඔලුවලට යන්න ඇත්තෙ. ඒ පොඩි උන් ලොකු මිනිස්සු වෙන්නෙ ඇඟ පේන්න අඳින ගෑනු දූශනය වෙන්න සුදුසුය් කියල හිතා තියාගෙන. උන් ස්ත්‍රී දූශකයො වුනාම ජංගම දුරකථනයට බනීවි, අන්තරජාලයට බනීවි, හැබැය් මේ වගේ ගොන් ප්‍රකාශ වලට කවුරුත් බනින එකක් නැහැ.





Friday, December 16, 2011

තොපිට එරෙහිව අපි



යුද්දෙ ගජරාමෙට නැගල යන දවස් වල රූපවාහිනී නාලිකා වල යුද්දෙටම විතරක් වෙනම විශේෂාංග හදල තිබ්බ. අපේ අයත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක් බලනව වගේ ආතල් එකේ ඕව බලන් හිටිය. හැමෝගෙම ආතල් බිඳුනෙ යුද්දෙ ඉවර උනාම. කට්ටියගෙ හතුර මැරිල ගියා. කිරිබත් කෑව, පාර පුරා දිව්ව. හැබැය් චිත්‍රපටියත් ඒත් එක්කම ඉවර උනා.

අපේ රටේ අයට හතුරෙක් නැති උනාම හරි පාලුය්. අපේ බහුතරයකට දාර්ශනික අරගල නැහැ, තියෙන්නෙ ජීවන අරගලයක් විතරය්. නැත්තන් අල්ලපු ගෙදරත් එක්ක අරගලේ විතරය්. රස්සාවය්, ගෙදරය්, නැත්නම් ඉස්කෝලෙය්,ගෙදරය්. එතනින් එහාට ජීවිතයක් නැහැ. රූටත් පාරට බැහැල විනෝද වෙන සුද්දට සංකර ලේබලේ ගහල අපි ටීවී ඉස්සරහට වෙලා කටවල් ඇරන් මෙගා නාට්ටි බලන් ඉන්නව. ඉතින් මේ කාලකන්නි ජීවිත වලට අරමුනක් හම්බෙන්නෙ දැවැන්ත හතුරෙක් මතු වුනොත් විතරය්, එහෙම නැත්තන් අපිට කම්මැලිය්.

ශත වර්ශ ගනනාවක් සුද්දොන්ගෙන් බැට කාපු  මිනිස්සුන්ට ඉබේම ඔය අරමුන හම්බවුනා. සුද්ද ගියාම නැති වුනු අරමුන හදන්න අනගාරික ධර්මපාල වගේ අය ඉදිරිපත් වුනා, නැගිටියව් අන්න අන්ජාතිකාරයො උඹලට වැඩේ දෙන්න හදන්නෙ කියල හතුරෙක් නිර්මානය කරල දුන්න. ඊට පස්සෙ දශක තුනක් පුරාවට යුද්දෙ අපිට ඒ අරමුන හොයල දුන්න. දැන් ඒකත් නැහැ. ඒක නිසා කට්ටියක් අනිත් ජාති ආගම් වල අයව බලෙන් හතුරො කර ගෙන පහර දෙනව,  මෙහෙන් පත්තරකාරයො සමලිංගික භීතිකාවක් පතුරල ඒ අවශ්‍යතාව සපුරල දෙනව. තවත් සමහරු අපේ චින්තනේ තහවුරු වෙන විදියෙ, ඉතිහාසෙ ගැන යුද්දෙ ගැන චිත්‍රපටි හදල අපිට වින්දනයක් දෙන්න හදනව.

යුද්දෙ ගැන කරන බහුතරයක් චිත්‍රපටි වලට ආවේනික ලක්ශනයක් තමය් එක පැත්තක සොල්දාදුවන් අහිංසක මානුශීය වීරයො විදියට නිරූපනය කිරීමත්, අනික් පැත්තේ සොල්දාදුවන් නපුරු මිනීමරුවො විදිහට නිරූපනය කිරීමත්. කොච්චර හොඳ චිත්‍රපටියක ලක්ශන තිබුනත් ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ Saving Private Ryan පවා ඔය පක්ශපාතීකමෙන් පෙලෙනව. ඇමෙරිකානුවො වීරයො කරන ස්පීල්බර්ග් ජර්මානුවන් කපටි අමුනුස්සයන් බවට පත් කරනව.

ලංකාවෙ චිත්‍රපටිවලට එනවිට ඔය තත්වය තවත් අන්ත වෙනව. ගාමනී වගේ චිත්‍රපටි වල කොටි අරමුනක් නැති ඔහේ මරන්නන් වාලෙ මරන යක්කු ටිකක් බවට පත්කරන නිර්මානකාරය උන්ව මරන සොල්දාදුවන්ව වීරයො කරනව. කෙල්ලගෙ තාත්තගෙ හෙංචය්යොන්ට ගහල කෙල්ලව අරන් පැනල ගිහින් වීරය වෙන ‍උන් ගැන තියෙන සිංහල චිත්‍රපටි වලට වඩා ඔය යුද චිත්‍රපටි වල ඇති වෙනසක් නැහැ. ඒ වගේම ගාමනී චිත්‍රපටිය සිංහලයාගේ චිත්‍රපටියක් බවට පත්කරන නිර්මානකාරය සියලු ජාතීන් එකමුතු වෙන්න ඕන බව කියන්න පොඩ්ඩක්වත් උත්සහ ගන්නෙ නැහැ, මොකද එකමුතු වුනු තැන අපේ අය‍ට අරමුනක් නැහැ.

අපේ රටේ මිනිස්සු තනිකර දුවන්නෙ ඔය තොපිට එරෙහිව අපි මානසිකත්වය කියන ඉන්ධනය නිසා. ඒක නැති උනොත් අපි අනාතය්. අපේ කම්මැලි දූපත් ජීවිත වලට නැත්තන් අරමුනක් නැහැ. විද්‍යා විරෝධය, බටහිර විරෝධය, සමලිංගික විරෝධය, මුස්ලිම් දෙමල සිංහල විරෝධය, මේ ඔක්කොම අපේ වටිනා කමක් නැති දූපත් ජීවිත වලට වටිනා කමක් දෙන්න අපි කරන උත්සහයන්. ඉතින් අපේ මිනිස්සු පැය විසිහතරෙම ඉන්නෙ කේනිතියෙන්. කල්ලි ගැහිල එක එකා මරාගන්න බලාගෙන. මිනිහෙක් හැප්පුනාම බස් වලට ගල් ගහන්නෙ ගිනි තියන්නෙ මැරුන මිනිහ වෙනුවෙන් නෙමෙය්, තමන් වෙනුවෙන්, තමන්ගෙ ජීවිතේ ගැන තියෙන කාලකන්නි කේන්තිය මොහොතකට පිට කරගන්න. ඉතින් අපි තවමත් රටක් හැටියට එක තැන පල්වෙන එක පුදුමයක්ද?

ඒකට වගකියන්න ඕන රනිල්වත්, මහින්දවත් වෙනත් දේශපාලකයොවත් නෙමෙය්. ඔවුන් කරන්නෙ අපිට ඔය හතුර හදල දීල අපේ කම්මැලි කම නැති කරල ඡන්දෙ කඩා ගන්න එක විතරය්. ඒ වගේම රූපවාහිනියට එන දේශමා‍මක පඬියොත් නෙමෙය්. ඔවුන් කියන්නෙ අපි අහන්න කැමති දේවල්. මේ හැමෝම කරන්නෙ තියෙන ප්‍රශ්නය තවත් වැඩි කරන එක උනාට වගකියන්න ඕන අපිමය්. අපේ අරමුනක් නැති ජීවිතමය්. අපේ කම්මැලිකම නැතිවෙනකන් අපි හැමදාම ඔය විදියට පිල් බෙදිල ඇන කොටා ගනීවි