f

Wednesday, December 28, 2011

ගැහැනිය දූශනය වන්නේ ගැහැනිය විසින්මය්


"ගැහැනිය දූශනය වන්නේ ගැහැනිය විසින්මය්", ලංකාවෙ ආගමික පූජකයකු කියනව මට ඇහුන. ඔහුගෙ දේශනාවෙ බොහොමයක් තිබුනෙ ඇඳුම් පැලඳුම් කොන්ඩ විලාසිතා ගැන විවේචන. දැන් කාලෙ ගෑනු ලමය් ඇඟ පේන්න අඳිනව. ඒ නිසා ස්ත්‍රී දූශන වලට වරදකාරයො පිරිමි නෙමෙය්, පිරිමින්ව අවුස්සන ගෑනුමය්. ඔව්, ඒ ඔහු කියන්න උත්සහ කරපු දේ.

කැනඩ වලත් මාස ගානකට කලින් පොලිස් නිලධාරියෙක් ඔය කතාවම කිව්ව. ප්‍රතිපලය උනේ දහස් ගනන් කාන්තාවො SlutWalk කියන නමින් විරෝධතාවයක් පැවැත්වීම. අපේ රටේ විරෝධතා ඇති නොවුනට ඔය කතාව අපිට අපේ රටේ බුද්ධිමත් යැය් සම්මත පුද්ගලයන්ගෙන්, විවිධ ආගම් නියෝජනය කරන පූජකයන්ගෙන් හැමදාම ඇහෙනව.

ඔය උඩ තියෙන්නෙ ලෙසතෝ කියන රටේ සාමාන්‍ය කාන්තාවන්ගෙ ඡායාරූපයක්. 2008 ස්ත්‍රී දූශන පිලිබඳ දත්ත වාර්තා වල අංක එකේ ජයග්‍රහකය උනේ ලෙසතෝ. කෝ කොට ගවුම්, ඇඟ පේන්න අඳින ඇඳුම්? එහෙම ඇඳුම් මිලදී ගන්නවත් ඔවුන්ට වත්කමක් නැහැ. ආර්ථික වශයෙන් වගේම සාමාජීය වශයෙනුත් ඔවුන් ඉන්නෙ පිටිපස්සෙ. අපේ ‍ගොඩක් උගත්තු ස්ත්‍රී දූශනය ගැන ඉදිරිපත් කරන න්‍යාය හැටියට එහෙනම් මේ රටේ ස්ත්‍රී දූශන ගොඩක් අඩු වෙන්න ඕනෙ.

ගෑනු කොටට වල් විදියට ඇන්දන් ගියාම උන්ගෙ සෙක්සි පෙනුම නිසා අහින්සක කොල්ලො ඇවිස්සෙනව. ඉතින් ඒ අසරන හා පැටව් වගේ කොල්ලො ගිහින් අර අධම වලත්ත ගෑනුන්ව දූශනය කරල ආසාව පිරිමහ ගන්නව, උන් ඒකට සුදුසුය්, හොඳ වැඩේ වල් ගෑනුන්ට. ඕකය් දූශනය ගැන අවාසනාවට අද අපේ රටේ සමාජගත වෙලා තියෙන මතය.

ස්ත්‍රී දූශනයක් කියන්නෙ කිසිම විදියකින් ලිංගික ආසාව අරමුන කරගත්තු ක්‍රියාවක් නෙමෙය්. බලය, වෛරය අරමුනු කරගත්තු ක්‍රියාවක්. ලමා කාලෙ අමිහිරි අත්දැකීම්, තමන්ගෙ පෞද්ගලික ජීවිතයේ තියෙන බල රහිත බව, තමන් මුහුන දුන් අත්දැකීම් නිසා කාන්තා සංහතියට දක්වන වෛරය ස්ත්‍රී දූශනයට පොලඹවන බව පර්යේශන වලින් හොයාගෙන තියෙනව. ලිංගික ආසාව ඕකෙ කොටසක් විතරය්. ඒ වගේම දූශකය තමන්ගෙ ගොදුර හැටියට යොදා ගන්නෙ පෙරලා සටන් කිරීමේ හැකියාවක් නැති අය, එහෙමත් නැත්නම් අතීතයෙ තමන්ට කාන්තාවක් ගැන අසුන්දර මතකයක් තියෙනවනම් ඒ කාන්තාවගෙ පෙනුමට සමාන අයව.

ලිංගික ආසාව සංසිඳවා ගැනීම ස්ත්‍රී දූශනයේ අරමුනනම් තමන්ගෙ ජීවිතයෙ ඒ අවස්ථාව හම්බවෙන මිනිස්සු ස්ත්‍රී දූශන වලට නොපෙලඹවී ඉන්න ඕනෙ. නමුත් ස්ත්‍රී දූශකයො අතරෙ විවාහක, එහෙමත් නැතිනම් පෙම්වතියො ඉන්න මිනිස්සු බහුලය්. ඇඟ පෙනෙන ඇඳුම් ඕවට පොලඹවනවනම් එහෙනන් හැම පිරිමියම ස්ත්‍රී දූශකයො වෙන්න ඕනෙ. නමුත් එහෙම වෙලා නැහැ. හැම පිරිමියම, ලංකාවෙ පිරිමි පවා රහසින් කැමතිය් ගෑනු ඇඟ පේන්න අඳිනවට, පාර තොටේදි හොරෙන් බලන්න. ඒ උනාට ඒ හැමෝම ස්ත්‍රී දූශකයො වෙන්නෙ නැහැ.

ගෑනු ඔහොම අඳින්නෙ පිරිමින්ට පේන්න, කට්ටියක් කියනව. ඔව් හරි, එතකොට පිරිමි ලස්සනට ඇඳල යන්නෙ පිරිමින්ට පේන්නද, නැත්තන් පාරෙ යන බල්ලොන්ට පේන්නද. පිරිමි ගෑනු දෙපාර්ශවයම කැමතිය් විරුද්ධ ලිංගිකයන්ගෙ ආකර්ශනය හම්බෙනවනම්. හැබැය් ඒකෙ තේරුම ඔවුන් හොයන්නෙ තමන්ව දූශනය කරන්න පිරිමියෙක් කියන එක නෙමෙය්. ඔවුන් හොයන්නෙ නිකන්ම නිකන් ආකර්ශනය, නැතිනම් සම්බන්ධතාවයක්. මේ මිනිස්සු කියන විදියට කොටට ඇඳල යන ලස්සන තරුනියක් දැකල ආසාවක් ඇති උනත්, ඒකට විසඳුම ඇයව දූශනය කිරීමද, ඇය් ඒ මනුස්සයට බැරි ඔය තරුනියත් එක්ක සම්බන්ධතාවයක් පටන් ගන්න, දූශනය වෙනුවට ආදරේ කරන්න.

ඒත් මේ මිත්‍යාව වසර ගානක් තිස්සෙ පැවතගෙන ආව. තාමත් පවතිනව. දූශකයාගේ මානසික අසහනයට වරද්ද නොපටවා වද වේදනා වලට ලක් වුනු කාන්තාවට වැරැද්ද පැටවීම කොච්චර අසාධාරන කාලකන්නි වැඩක්ද. සමාජය පාලනය කිරීමේ වැඩි වගකීම කාන්තාවට පැටවීම කොතරම් අසාධාරනද. ඇඟ පේන්න අඳින ගෑනු දූශනයට සුදුසු වේ කියල මේ සමාජ ගත කරල තියෙන මතය කොච්චර හානිකරද.

ඒ ආගමික පූජකය ඔය කතාව කිව්වෙ ලංකාවෙ පාසලක දහස් ගානක් හැදෙන වයසෙ ඉන්න පිරිමි දරුවො ඉස්සරහ. කොල්ලනේ උඹලගෙ වැරැද්දක් නැහැ, ගෑනු ඇඟ පේන්න අඳින එක තමය් වැරැද්ද, ඒක නිසා ඇඟ පේන්න ඇඳන් ඉන්න ගෑනියෙක් දැක්කොත් දූශනය කරපල්ලා, මොකද උඹලට නිදහසට කාරනයක් තියෙනව, කියන මතය නෙමෙය් ද ඔය ප්‍රකාශයෙන් ලමයින්ගෙ ඔලුවලට යන්න ඇත්තෙ. ඒ පොඩි උන් ලොකු මිනිස්සු වෙන්නෙ ඇඟ පේන්න අඳින ගෑනු දූශනය වෙන්න සුදුසුය් කියල හිතා තියාගෙන. උන් ස්ත්‍රී දූශකයො වුනාම ජංගම දුරකථනයට බනීවි, අන්තරජාලයට බනීවි, හැබැය් මේ වගේ ගොන් ප්‍රකාශ වලට කවුරුත් බනින එකක් නැහැ.





Friday, December 16, 2011

තොපිට එරෙහිව අපි



යුද්දෙ ගජරාමෙට නැගල යන දවස් වල රූපවාහිනී නාලිකා වල යුද්දෙටම විතරක් වෙනම විශේෂාංග හදල තිබ්බ. අපේ අයත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක් බලනව වගේ ආතල් එකේ ඕව බලන් හිටිය. හැමෝගෙම ආතල් බිඳුනෙ යුද්දෙ ඉවර උනාම. කට්ටියගෙ හතුර මැරිල ගියා. කිරිබත් කෑව, පාර පුරා දිව්ව. හැබැය් චිත්‍රපටියත් ඒත් එක්කම ඉවර උනා.

අපේ රටේ අයට හතුරෙක් නැති උනාම හරි පාලුය්. අපේ බහුතරයකට දාර්ශනික අරගල නැහැ, තියෙන්නෙ ජීවන අරගලයක් විතරය්. නැත්තන් අල්ලපු ගෙදරත් එක්ක අරගලේ විතරය්. රස්සාවය්, ගෙදරය්, නැත්නම් ඉස්කෝලෙය්,ගෙදරය්. එතනින් එහාට ජීවිතයක් නැහැ. රූටත් පාරට බැහැල විනෝද වෙන සුද්දට සංකර ලේබලේ ගහල අපි ටීවී ඉස්සරහට වෙලා කටවල් ඇරන් මෙගා නාට්ටි බලන් ඉන්නව. ඉතින් මේ කාලකන්නි ජීවිත වලට අරමුනක් හම්බෙන්නෙ දැවැන්ත හතුරෙක් මතු වුනොත් විතරය්, එහෙම නැත්තන් අපිට කම්මැලිය්.

ශත වර්ශ ගනනාවක් සුද්දොන්ගෙන් බැට කාපු  මිනිස්සුන්ට ඉබේම ඔය අරමුන හම්බවුනා. සුද්ද ගියාම නැති වුනු අරමුන හදන්න අනගාරික ධර්මපාල වගේ අය ඉදිරිපත් වුනා, නැගිටියව් අන්න අන්ජාතිකාරයො උඹලට වැඩේ දෙන්න හදන්නෙ කියල හතුරෙක් නිර්මානය කරල දුන්න. ඊට පස්සෙ දශක තුනක් පුරාවට යුද්දෙ අපිට ඒ අරමුන හොයල දුන්න. දැන් ඒකත් නැහැ. ඒක නිසා කට්ටියක් අනිත් ජාති ආගම් වල අයව බලෙන් හතුරො කර ගෙන පහර දෙනව,  මෙහෙන් පත්තරකාරයො සමලිංගික භීතිකාවක් පතුරල ඒ අවශ්‍යතාව සපුරල දෙනව. තවත් සමහරු අපේ චින්තනේ තහවුරු වෙන විදියෙ, ඉතිහාසෙ ගැන යුද්දෙ ගැන චිත්‍රපටි හදල අපිට වින්දනයක් දෙන්න හදනව.

යුද්දෙ ගැන කරන බහුතරයක් චිත්‍රපටි වලට ආවේනික ලක්ශනයක් තමය් එක පැත්තක සොල්දාදුවන් අහිංසක මානුශීය වීරයො විදියට නිරූපනය කිරීමත්, අනික් පැත්තේ සොල්දාදුවන් නපුරු මිනීමරුවො විදිහට නිරූපනය කිරීමත්. කොච්චර හොඳ චිත්‍රපටියක ලක්ශන තිබුනත් ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ Saving Private Ryan පවා ඔය පක්ශපාතීකමෙන් පෙලෙනව. ඇමෙරිකානුවො වීරයො කරන ස්පීල්බර්ග් ජර්මානුවන් කපටි අමුනුස්සයන් බවට පත් කරනව.

ලංකාවෙ චිත්‍රපටිවලට එනවිට ඔය තත්වය තවත් අන්ත වෙනව. ගාමනී වගේ චිත්‍රපටි වල කොටි අරමුනක් නැති ඔහේ මරන්නන් වාලෙ මරන යක්කු ටිකක් බවට පත්කරන නිර්මානකාරය උන්ව මරන සොල්දාදුවන්ව වීරයො කරනව. කෙල්ලගෙ තාත්තගෙ හෙංචය්යොන්ට ගහල කෙල්ලව අරන් පැනල ගිහින් වීරය වෙන ‍උන් ගැන තියෙන සිංහල චිත්‍රපටි වලට වඩා ඔය යුද චිත්‍රපටි වල ඇති වෙනසක් නැහැ. ඒ වගේම ගාමනී චිත්‍රපටිය සිංහලයාගේ චිත්‍රපටියක් බවට පත්කරන නිර්මානකාරය සියලු ජාතීන් එකමුතු වෙන්න ඕන බව කියන්න පොඩ්ඩක්වත් උත්සහ ගන්නෙ නැහැ, මොකද එකමුතු වුනු තැන අපේ අය‍ට අරමුනක් නැහැ.

අපේ රටේ මිනිස්සු තනිකර දුවන්නෙ ඔය තොපිට එරෙහිව අපි මානසිකත්වය කියන ඉන්ධනය නිසා. ඒක නැති උනොත් අපි අනාතය්. අපේ කම්මැලි දූපත් ජීවිත වලට නැත්තන් අරමුනක් නැහැ. විද්‍යා විරෝධය, බටහිර විරෝධය, සමලිංගික විරෝධය, මුස්ලිම් දෙමල සිංහල විරෝධය, මේ ඔක්කොම අපේ වටිනා කමක් නැති දූපත් ජීවිත වලට වටිනා කමක් දෙන්න අපි කරන උත්සහයන්. ඉතින් අපේ මිනිස්සු පැය විසිහතරෙම ඉන්නෙ කේනිතියෙන්. කල්ලි ගැහිල එක එකා මරාගන්න බලාගෙන. මිනිහෙක් හැප්පුනාම බස් වලට ගල් ගහන්නෙ ගිනි තියන්නෙ මැරුන මිනිහ වෙනුවෙන් නෙමෙය්, තමන් වෙනුවෙන්, තමන්ගෙ ජීවිතේ ගැන තියෙන කාලකන්නි කේන්තිය මොහොතකට පිට කරගන්න. ඉතින් අපි තවමත් රටක් හැටියට එක තැන පල්වෙන එක පුදුමයක්ද?

ඒකට වගකියන්න ඕන රනිල්වත්, මහින්දවත් වෙනත් දේශපාලකයොවත් නෙමෙය්. ඔවුන් කරන්නෙ අපිට ඔය හතුර හදල දීල අපේ කම්මැලි කම නැති කරල ඡන්දෙ කඩා ගන්න එක විතරය්. ඒ වගේම රූපවාහිනියට එන දේශමා‍මක පඬියොත් නෙමෙය්. ඔවුන් කියන්නෙ අපි අහන්න කැමති දේවල්. මේ හැමෝම කරන්නෙ තියෙන ප්‍රශ්නය තවත් වැඩි කරන එක උනාට වගකියන්න ඕන අපිමය්. අපේ අරමුනක් නැති ජීවිතමය්. අපේ කම්මැලිකම නැතිවෙනකන් අපි හැමදාම ඔය විදියට පිල් බෙදිල ඇන කොටා ගනීවි




Wednesday, December 7, 2011

අනේ රන්ගිර, දැන් ඔය ඇති




ස්වාධීන රූපවාහිනියෙ ගාම්භීර කථනයක් එක්ක ටෙලි නාට්‍යයක පූර්ව ප්‍රචාරක පටයක් විකාශය උනා. කතාවෙ විශේෂත්වය ගැන වගේම නලු නිලියන්ගෙ ඉදිරිපත් කිරීම ගැන ලොකු පම්පෝරියක්


“ට්‍රේලර් එකේ හැටියට හොඳ ටෙලියක් වගේ”


විකාශය වෙන ‍වේලාවය් දිනයය් මම මතක තියාගත්ත.


එකසිය තිස් අට බස් එක වගේ නවතින්නෙ නැතුව එකක් පිටි පස්සෙන් එකක් එන ගොන් ටෙලි නාට්‍ටි නිසා ලංකාවෙ ටෙලි කලාව මට එපා වෙලා තිබුනෙ. විදේශීය ටෙලි නාට්ටි වලට ආදරේ කරපු මට ඒ වගේම ප්‍රමිතියක් ඇති අපේම නිර්මානයක් දකින්න පුදුම ආසාවක් තිබුන. කොටස් කිහිපයක් උනන්දුවෙන් බලපු මම පුටුවෙන් නැගිටල ගියේ ලංකාවෙ නිර්මානයක් ගැන බලාපොරොත්තු තියා ගත්තු මටම හිනා වෙමින්.


රන්ගිර පාදක වෙලා තියෙන්නෙ සෝමා ජයකොඩිගෙ පොතකින්. සමහර විට පොතේ තියෙන කතාවට සුලු වෙනස් කම් කරල නාට්ටිය හැදුව වෙන්නත් පුලුවන්. ඒ කොහොම උනත් ම‍ම අදහස් දක්වන්නෙ නාට්ටිය ගැන. රන්ගි‍රේ කතාව කැරකෙන්නෙ උඩරට පවුල් කිහිපයක් වටා. බලවත් කාන්තා දේශපාලන චරිතයකුය්, විදේශ රටක ඉඳල ලංකාවට ආපු ධනවතෙකුගෙ පුතෙකුය් කතාවෙ ප්‍රධාන තැනක් ගන්නව. රන්ගිරේ කතා විලාශය මෙගා වල කතා විලාශයට වඩා කිසිම වෙනසක් නැහැ. කතාව එක අරමුනක්, ලොකු අවසානයක් පැත්තට ඇදිල යන ගතියක් නැහැ. තියෙන්නෙ පවුල් කිහිපයක එදිනෙදා ජීවිතයෙ වෙන සිදුවීම් කිහිපයක එකතුවක් විතරය්. ලංකාවෙ සම්මාන දිනන ගොඩක් නාට්ටි අනුගමනය කරන්නෙත් ඔය ක්‍රමයමය්.


සුරාජ් මාප කවදත් කරන අහිංසක, තැන්පත්, කිසිම ‍පෞරුශයක් නැති, කැඳ බීල වගේ හැසිරෙන තරුනයගෙ චරිතය ඒ විදියටම රන්ගිරෙත් කරනව. වෙනසකට තියෙන්නෙ සුරාජ් මාපගෙ චරිතය වන මහසෙන් දේශප්‍රේමී(Patriotic)  මත දරනව, ඒ වගේම කොය් වෙලාවෙත් ඒ ගැන අනිත් චරිත වලට බන කියනව. මහසෙන්ගෙ නංගිගෙ චරිතෙත් ඔය විදියමය්, වෙනසකට තියෙන්නෙ කාන්තා චරිතයක් වීම විතරය්.


රන්ගිර මෙගා නාට්ටියකත් වඩා හිසරදයක් වෙන්නෙ ඔන්න ඔය හේතුව නිසා. කලාවෙන් කරන්නෙ අදහස් ප්‍රකාශනයක්, නමුත් පත්තරේ යන ලිපියකට හෝ බ්ලොග් පෝසට් එකකට වඩා කලාව වෙනස් වෙන්නෙ ඔහේ තමන්ගෙ අදහස් එලියට දානවට වඩා ප්‍රේක්ශකයගෙ හැඟීම් වලට කතා කරන නිර්මානයකින් ඉබේම ඒ අදහස් ප්‍රේකශකයට තේරුම් යන විදියට ඉදිරිපත් කරන නිසා. රන්ගිරේ ප්‍රධාන තේමාවක් තමය් දේශප්‍රේමය. කතාවෙ සිදුවීම් වලින්, චරිත වල තීරන වලින් මේ මතය ප්‍රකාශ වෙන්න ඉඩ හැරීම වෙනුවට රචකය කරල තියෙන්නෙ තමන්ගෙ කතාවෙ චරිත රූකඩ ටිකක් වගේ තමන්ගෙ මතවාද ප්‍රේක්ශකයගෙ ඔලුවලට බලෙන් ඔබ්බවන්න පාවිච්චි කරන එක. ඉතින් රන්ගිරේ චරිත හැම කොටසකදිම වෙන්නෙ මහසෙනුය්, නංගිය්, අනිත් චරිතය් දේශප්‍රේමය ගැන ප්‍රේක්ශකයට බන දේශනා කරන එක.


පන්සලක ඉන්න ආවේගශීලී හාමුදුරු  ‍චරිතය ජාතික වාදය (nationalism) සහ සිංහල බෞද්ධ අනන්‍යතාවය ගැන ‍ප්‍රේක්ශකයට දේශනා කිරීමට පමනක් නිර්මානය කරපු චරිතයක්, කතාවට කිසිම දායකත්වයක් නැහැ. මේ අතරෙ එහෙන් මෙහෙන් කතාවට වැටෙන විදේශිකයන්ගෙ චරිත වලින් කෙරෙන්නෙ උඹල ලංකාවට ආද‍රේ නොකොට සුද්දන්ට ආවැඩුවට සුද්දො ලංකාවට ආදරෙය් කියන මතය ප්‍රේකශකයට කවන්න.


ඇත්තටම රන්ගිර වලි කාගෙන ප්‍රේකශකයට කවන්න හදන මේ මත මොනාද. දේශප්‍රේමය, ජාතිකත්වය, තමන්ගෙ දේ අගය කිරීම, සුද්දට පරගැති නොවීම වගේ උදේ හවහ රූපවාහිනියෙන් රේඩියෝවෙන් මහාචාර්යවරුන්ගෙන් දේශපාලකයන්ගෙන් අසල් වාසීන්ගෙන් ඇහිල ඇහිලම එපා වෙලා තියෙන දේවල්. අපි ඉන්නෙ මේ දේශප්‍රේමී අතිරික්ත යුගයක. ඉතින් දේශප්‍රේමී මත දරන තවත් කතාවක් අපිට අවශ්‍යද. කලා නිර්මානයකින් සමාජයෙ අලුත් මතයක් ස්ථාපිත කරන්න පුලුවන්නම් ඒක තමය් හපන් කම.


රන්ගිරෙන් සම්ප්‍රේශනය කරන්න හදන මත වල කිසිම ගැඹුරක් නැහැ. ඔහේ තමන්ගෙ දේ අගය කරපල්ල කියල මහසෙනුය් නංගිය් පුන පුනා කිව්වත් ඒ අගය කරන්න තරම් වටින දේවල් මොනවද කියල කිසිම තැනක පැහැදිලි කරන්නෙ නැහැ, ලංකාවෙ මිනිස්සුන්ට සුද්ද‍ගෙ දේ අගය කරන්න වෙලා තියෙන්නෙ තමන්ට කියල දෙයක් කරගන්න බැරි උනු නිසා කියල පිලිගන්නෙ නැතුව තියෙන අසූචි ගොඩ උනත් සුවඳය් කිය කිය අගේ කරපල්ල කියල අපිට හැමදාම ඇහෙන කතාව තමය් රන්ගිල ඇතුලෙ දෝංකාර දෙන්නෙ.


හමුදා සොල්දාදුවො ගැන බොහොම භක්තියෙන් කතා කරන මහසෙන්ගෙ නංගිගෙ චරිතයෙන් සොල්දාදුවො ගැන ඇත්තක් කියන්න තියෙන අවස්ථාව මග ඇරල කවදත් අපිට ඇහෙන සොල්දාදුවො රටට තියෙන ආදරේ නිසය් හමුදාවට බැ‍‍‍ඳෙන්නෙ වගේ සූකිරි කතා වලට ඇයව සීමා කරනව. සමාජ යථාර්තයක් වන බහුතරයක් සොල්දාදුවො හමුදාවට බැ‍‍ඳෙන්න පොලඹවන ආර්ථික ප්‍රශ්න ගැන, තමන්ගෙ දුප්පත් අම්මගෙ මල්ලිගෙ කුස පුරවන්නය් සොල්දාදුවො වෙඩි කන්නෙ කියල ප්‍රේක්ශකයට කියන්න තරම් රචකය නිර්භීත වෙන්නෙ නැහැ.


ලංකා‍ව ලෝකයේ හොඳම රට කියමින් ලංකාව ගැන විවේචන බැහැරලන ජාතිකවාදී මතයක් දරන ආවේගශීලී හාමුදුරු චරිතයත් කරන්නෙ සමාජයෙ මුල් බැහැගෙන තියෙන මත වලට එරෙහිව යාම නෙමෙය්, ඒවට පොහොර දාන එක.

“ලංකාවෙ මිනිස්සු හරි ජාතිවාදීය් අපෙ හාමුදුරුවනේ”

“(උපහසාත්මකව සිනහසෙමින්) ජාතියක් උනාම ආවේගශීලී වෙන එක ස්වාභාවිකය් උපාසක නෝනො”

ලංකාවට ඉස්සර ඉන්දන්ම පිලිලයක් වෙලා තිබුනු ජීවිත දහස් ගනනක් අහිමි කරවපු ජාතිවාදය වැරදිය් නොකිය එය සාධාරනීකරනය කරන්න හදන විදිය ජුගුප්සාජනකය්. රටක කලා නිර්මානත් මිනිස්සුන්ට ජාතිවාදය වැරදිය් නොකියන කල ඒ රටේ අනාගතය ගැන කුමන කතාද. හාමුදුරැවන්ගෙ චරිතයත්, කතාවෙ අනිකුත් දෙබසුත් තමන්ගෙ සිංහල ‍බෞද්ධ ප්‍රොපගැන්ඩාවට රචකය යොදා ගන්නෙ එක සාධාරන ප්‍රශ්නයක් මතු කරමින්. එතකොට මේ නාට්ටිය සිංහල බෞද්ධ ජනයාට විතරක් වෙනමම හදපු එකක්ද? මොකද නිර් ආගමිකයො ඒ වගේම අන්‍යාගමිකයො කීයටවත් කැමති වෙන්නෙ වෙන ආගමික හා සංස්කෘතික මතවාද නිර්මානයක් හරහා තමන්ට බලෙන් ඔබන්න එනවට.  ඒකෙන් වෙන්නෙ ප්‍රේක්ශකයො නිර්මානයෙන් ඈත් වෙන එක.


විරුද්ධ මත වලට රන්ගිරේ තැනක් නැහැ. යම් දුරකට ලිබරල් මත දරන කාන්තා දේශපාලන චරිතය සහ මහසෙන්ගෙ පියාගේ චරිතය හිතා මතාම දුර්වල තර්ක කරන්නන් බවට පත් කරල. ඒ නිසා රචකය ඔබන්න හදන මතවාද වලට දක්ශ ප්‍රතිවිරුද්ද තර්ක ඉදිරිපත් වෙන්නෙ නැහැ.


රන්ගිරේ සුලු චරිත කිහිපයක් හැරුනු විට අනිත් චරිත හරිම ද්වීමානය්, කිසිම තාත්වික ගතියක්, ඇත්ත පුද්ගලයෙක්ගෙ තියෙන ගැඹුර නැහැ, චරිත ලක්ශන කිහිපයකට විතරක් සීමා වෙලා. ගෑනි මලා වගේ කොය් වෙලාවෙත් මූන බෙරි කරගෙන ඉන්න, දේශප්‍රේමය ගැන බන කියන්න විතරක් කට අරින මහසෙන්ගෙ ඔතෑනි චරිතය ප්‍රේක්ශකයකට නිදිමත ඇති කරනව. මහසෙන්ගෙ නංගිගෙ චරිතයටත් දේශප්‍රේමී බන කීම හා තාත්තට විරුද්ධව කැරලි ගැහීම ඇරුනම වෙන චරිත ලක්ශනයක් නැහැ. හාමුදුරුවන්ගෙ චරිතෙත් කිසිම තාත්වික බවක් ඇත්තෙ නැහැ, තනිකර සිංහල බෞද්ධ කමටය් ජාතිකත්වයටය් ඒ චරිතය කොටු වෙලා. ඇත්තටම මේ චරිත තමන් විශ්වාස කරන දේ සර්ව සම්පූර්න ඇත්ත හැටියට පිලිගන්න වෙනත් මත දරන මිනිස්සුන්ට වඩා තමන් උසස් කියල හිතන ඔලු උදුම්මවා ගත් self righteous මිනිස්සු බවට රචකය විසින් පත් කරල, ඒ හරහා තමන්ගෙ මතවාද පතුරවන්න හදනව. කතාවක් කීමට කිසිම උනන්දුවක් ඇති බව පේන්නෙ නැහැ.


කලා නිර්මානයකින් අදහසක් ප්‍රකාශ වෙන්න උවමනා උනාට ඕනවට වඩා ‍දේශන ස්වරෑපයක් ගත්තොත් එතන කලාවක් නැහැ, තියෙන්නෙ කොහෙවත් ඉන්න මනුස්සයෙක්ගෙ අදහස් ගොනුවක් විතරය්. අනුන්ගෙ අදහස් කියවන්න පොතක් පත්තරයක් බලනව මිස නාට්ටියක් චිත්‍රපටියක් බලන්නෙ මොන කෙහෙල්මලටද. ඇමෙරිකානු චිත්‍රපටියක් වන Fight Club වගේ නිර්මානත් දේශන ස්වරූපයක් ගත්තත් එයින් කියවෙන්නෙ ඇමෙරිකානු සමාජයේ ආකල්ප වලට අභියෝග කරන වැදගත් පනිවිඩයක්. පරිභෝජනවාදයට වහල් උන  ඇමෙරිකන් මිනිස්සුන්ට උඹල මේ කරන්නෙ මෝඩ වැඩක්, ජීවිතේ සතුට රැඳිල තියෙන්නෙ බඩු භාන්ඩ වල නෙමෙය් කියල කියන්න තරම් ඒ නිර්මානකාරයට කොන්දක් තිබුන.


නමුත් රන්ගිර අපිට හැමදාම ඇහෙන, දේශ ප්‍රේමෙ හොඳය්, ගෝත්‍රවාදෙ හොඳා‍ය්, සුද්දට බැන්නම ඔක්කොම හරි යාය්, කියන මතවලට තව තවත් පොහොර දානව මිස අභියෝග කිරීමක් කරන්නෙ නැහැ. ඒ මදිවට චරිත ලව්ව එකම දේ කියවනව, ප්‍රේක්ශකයට එක සැරේ තේරුම් ගන්න බුද්ධියක් නැහැ වගේ. ඉතින් මට කියන්න තියෙන්නෙ, අනේ රන්ගිර මට හොඳටම තේරුනා, දැන් ඔය ඇති, දැන් බන කිව්ව ඇති, දැන් පව් නොදී යන්න.