f

Wednesday, February 8, 2012

ආගමේ බූදලයක් උනු අපේ ප්‍රකාශන අයිතිය.


තමන්ගෙ ආගමට අපහස කරල ගීතයක් නිර්මානය වෙලා කියල කට්ටියක් මහා සද්දයක් දානව. මාස ගනනාවක් තිස්සෙ කිසිම ප්‍රශ්නයක් නොමැතිව මාධ්‍යය ඔස්සේ විකාශය වුනු ගයාන් පෙරේරාගේ ටිකෙන් ටික ගීතයට එරෙහිව එක්වරම ලොකු විරෝධතාවයක් එල්ල වෙන්න පටන් අරන්. ගීතය නිකුත් වෙලා මාස ගනනාවක් ගිහිනුත් කාටවත් නොපෙනෙනු අපහසයක් එක් වරම පේන්න පටන් අරන්, කාගෙන්දෝ කට්ටිය එක්වරම මොලේ හෝදගෙන.

Blasphemy, එහෙමත් නැත්නම් ආගමික අපහසය කියන්නෙ ගොදුරක් නැති අපරාධයක්. අපහසය කියන්නෙ ඕනම දේකට ආදේශ කරන්න පුලුවන් නියම නිර්වචනයක් නැති සංකල්පයක්. යමක් අපහසයක් ද නැත්ද කියල තීරනය කරන්න අදාල ප්‍රකාශය කරපු පුද්ගලයගෙ හිත ඇතුලටම එබිල බලන්න වෙනව. උදා‍හරනෙකට අපි අපේ හිතවතුන්ට සමහර වෙලාවට විවිධ නම් වලින් ආමන්ත්‍රනය කරන්නෙ ඔවුන්ට රිදවන්න බලාගෙන නෙමෙය්. මේ නිසා වැදගත් වෙන්නේ පුද්ගලයාගේ අරමුනය්.

‍ආගමික රූපයක් ඇඳුමක යොදාගන්න පුද්ගලයෙක්ට තර්ක කරන්න පුලුවන් ඔහු එහෙම කලේ තමන්ගෙ ආගමට තියෙන භක්තියට කියල, තමන්ගෙ ආගම ප්‍රචාරය කිරීමේ අරමුනෙන් කියල. ඒ නිසා අරමුන ඒ පුද්ගලය විසින්ම පැහැදිලි කරොත් මිසක් පිටස්තරයෙක්ට තාර්කිකව ඔප්පු කරන්න පුලුවන් දෙයක් නෙමෙය්.

මේ වගේම ආගමික අපහස කියන්නෙත් ඕනම විදියකට හැඩ ගස්සල තමන්ගෙ වාසියට හදා ගන්න පුලුවන් දෙයක්. බොහෝ පිරිස් තමන්ගෙ ආගමික විශ්වාස විවේචනය වීම වලක්වා ගැනීමට උපක්‍රමශීලීව ඔය සංකල්පය පාවිච්චි කරනව. මැද පෙරදිග උදවියට තමන්ගෙ නායකයගෙ රූපය ඇඳීම අපහසයක් වෙද්දි, පකීස්ථානෙ අයට සිසුවෙක් ‍මුහම්මද් ගැන ලියවුනු කවියක් වැරදියට විභාගයකදි ලිවීමත් අපහසයක් වෙනව. මේ නිසා නිර්මානයකට තමන්ගෙ ආගමේ රූපයක් යොදා ගැනීමේ ඉඳන් තමන්ගේ ආගමික නායකයාගේ රූපයක් තිබෙන කාමරයක අධෝවාතයක් පිටකිරීම වෙනකන් ආගමික අපහසයක් හැටියට  හඳුන්වන්න පුලුවන්.

ආගමික අපහසය කියන සංකල්පයේ තියෙන මේ පදනම් විරහිත භාවය නිසාම එය තව දුරටත් බොහෝ රටවල් වල නීතියක් හැටියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. නමුත් ලංකාවෙ තවමත් ඔය යල්පැන ගිය නීති ක්‍රියාත්මක වෙනව.

එක්තරා මුස්ලිම් කන්ඩායමක ඉල්ලීමක් නිසා ඉරාජ්ගෙ මියුසික් වීඩියෝවක් තහනම් වෙනව, තවත් කිතුනු කන්ඩායමක් නිසා The Da Vinci Code චිත්‍රපටිය ලංකාවෙ ප්‍රචාරය වෙන්නෙ නැහැ. බෞද්ධ කන්ඩායමක ඉල්ලීමක් නිසා දලදා මාලිගාවේ රූප අඩංගු ටීශර්ට් තහනම් වෙනව, ගයාන් පෙරේරගෙ ගීතය තහනම් වීමට වැඩ කටයුතු සැලසෙමින් පවතිනව.
 
ඇත්තටම මේ තහනම් වෙන්නෙ මොනවද, අපේ ප්‍රකාශන අයිතිය, අපේ නිදහස. කලාව කියන්නෙ එක ආගමික කන්ඩායමක බූදලයක්ද, ඔවුන්ගේ හිත රිදුනු පලියට ලංකාවේ කලා නිර්මානයක් අනිකුත් සියලු ජනතා‍වගෙන්ම එය උදුර ගන්න?

දේශපාලකයන්, දේශපාලන මත ප්‍රහසනයට ලක් කරමින් කරමින් හෝ ඔවුන්ව වර්නනා කරමින් කාටූන් අඳින්න, ගීත නිර්මානය කරන්න අපිට ඉඩ තියෙනව, නමුත් අපිට ආගමට අමුතු ගෞරවයක් දක්වන්න, බියක් දක්වන්න සිද්ධ වෙලා. ආගමට විතරක් ලංකාවේ ජන සමාජය තුල අනික් කිසිම මතයකට නැති විශේශ බලයක් හිමි වෙලා.

ඒ බලය පිලිකාවක් වෙලා අද අපේ ප්‍රකාශන අයිතිය ටික ටික මරන්න පටන් අරන්. ඔබ නිර් ආගමිකයෙකු උනත්, අදාල ආගමික කන්ඩායමට අයිති නැති අන්‍යාගමිකයකු උනත්, කොටින්ම අදාල ආගමික කන්ඩායමට අයිති නමුත් අන්තවාදයට නොයන්නෙක් උනත්, ඔබේ රසාස්වින්දනයට ඇඟිලි ගහන්න, ඔබ කැමති ගීතයක් තහනම් කරවන්න, ඔබේම නිර්මානයක් තහනම් කරවන්න ඔවුන්ට බලය හිමි වෙලා, ඔබේ අරමුන කලා නිර්මානයක් හරහා ඔබේ අදහස් ප්‍රකාශ කිරීම පමනක් වුවත්.

දලදා මාලිගාවෙ රූපයක් ඇඳුමක මුද්‍රනය කිරීමට වඩා කට්ටියට ප්‍රශ්නයක් උනේ එය කාන්තා ඇඳුමක ලය ප්‍රදේශයෙ මුද්‍රනය වීම. කාන්තාව යනු අපිරිසිදු, කාන්තාවකගෙ පියයුරු කියන්නෙ අපිරිසිඳු, ලිංගික කර්තවයකට පමනක් යොදා ගත හැකි වලත්ත දෙයක් කියන අදහස නෙමෙය්ද මේ තමන්ගෙම අම්මගෙ පියයුරු වලින් කිරී බීල වැඩුනු අය කියන්නෙ?

මේ අපහස කිරිල්ල කොහෙන් නතර වෙය්ද, සමහර විට තව ටික දවසකින් ආගමික මධ්‍යස්ථානයක් අසලින් බස් රථයක යන විට ඉඳගෙන යාමත් තහනම් කරාවි. නැතිනම් රූපවාහිනියෙන් රේඩියෝවෙන් ආගමික වැඩසටහන් විකාශනය කරන වෙලාවට ගෙදර පුටුවෙ පවා ඉඳගන්න තහනම් කරාවි.

ආගමික නායකයන් ආගමික සිද්ධස්ථාන චිත්‍රයට නගන්න කලින් ඔබේ චිත්‍ර ඇඳීමේ හැකියාව මැනල බලන්න පටන් ගනීවි, මොකද රූප විකෘති වෙලා 'අපහසයක්' වෙන්න පුලුවන් නිසා.

එක් ආගමික කන්ඩායමකට අයත් සුලු පිරිසකගෙ වැඩ වලට ඒ මුලු කන්ඩායම වග කිව යුතු නැති බව මම විශ්වාස කරනව. එක් එක් පුද්ගලයන්ගෙන් මොල හෝද නොගෙන තනිවම හිතන ආගමිකයන්, තමන්ගෙ විශ්වාස අනුන්ට බලෙන් ඔබන්නට නොහදන ආගමිකයන්කෙන් කාටවත් කරදරයක් නැහැ.

ආගමික ලාංජන, ආගමික නායකයන්ගේ රූප ප්‍රසිද්ධ ස්ථාන වල ප්‍රචාරය කරන කොට, ආගමික ගීත ලවුඩ්ස් පීකරයෙන් හැ‍‍මෝටම ඇහෙන්න  ප්‍රචාරය කරන විට අකමැති උනත් කැමති උනත් ඒව කාගෙත් එදිනෙදා ජීවිතයෙ කොටසක් බවට පත්වෙනව.

ජයමංගල ගාථා ආගමික කටයුතු වලට පමනක් යොදා නොගෙන මංගල උත්සවය වගේ සාමාන්‍ය ජීවිතයෙ අංගයකට යොදාගත්තම ඒක සංස්කෘතියෙ කොටසක් වෙනව. යම් කිසි නිර්මානකරුවෙක්ට අදාල මොහොත තාත්විකව නිර්මානය කරන්න ජයමංගල ගාථා යොදාගන්න වෙනව.

මේ නිසා ඔබගේ ආගමික ගොඩනැගිලි, සංකේත හෝ ශ්ලෝක හෝ ගීත වැනි දේ කලා නිර්මාන වල අඩංගු වීම වලක්වගන්න අවශ්‍ය නම් කරන්න තියෙන්නෙ එකම දෙයය්. ඔබේ ආගම හංගන්න. ඔබේ ආගමික ගොඩනැගිලි මිනිස්සුන්ට පේන්න තියන්න එපා, ලොකු තාප්පයක් ගහල වහල දාන්න. මොකද ඒ ගොඩනැගිල්ලෙ ආකෘතිය ලස්සනය් කියල හිතුනොත් කලාකරුව ඒක චිත්‍රයකට නගල ටීශර්ට් එකේ ප්‍රදර්ශනය කරනව.

ඔ‍බගේ ආගමික ගීතයන් කලාකරුවන් සහභාගී වන උත්සව වල වාදනය කරන්න එපා, මොකද ඔවුන්ට හිතුනොත් ඒක ලස්සනය් කියල , ගීතයකට යොදාගනීවි.

කරුනාකර ඔබේ ආගමික ලාංජන, ආගමික නායකයන්ගේ රූප මම බලන රූපවාහිනී නාලිකා වල ප්‍රදර්ශනය කරන්න එපා, මම යන එන මග තොටේ ප්‍රදර්ශනය කරල මට බලෙන් පෙන්නන්න එපා. මොකද ඒව ලස්සන නම්,  කලා නිර්මානයකට අවශ්‍ය නම් මිනිස්සු ඒව යොදා ගන්නව

ඒ නිසා ඔබේ ආගම බලෙන් මගේ ජීවිතයට ඇතුලත් කරල ඊට පස්සෙ මගේ ජීවිතය ප්‍රකාශ කරන්න මම ඒව යොදාගත්තම මට චෝදනා කරන්න එපා.

මේ නිසා ඔබගේ ආගම ඔය ප්‍රකාශන මාධ්‍යයන්ගෙන් වෙන් කරගන්න අවශ්‍ය නම් කරුනාකර ඔබගේ ආගම රහසිගත සංවිධානයක් කර ගන්න, එය මටත් ලෝකයටත් කරන ලොකු උපකාරයකි. ඔබට කැමති ආගමක් ඇදහිමේ අය්තියට මම ගරු කලත්, ඒ ආගම පාවිච්චි කොට මගේ නිදහස අවහිර කරනවාට මම එකඟ නැත. ඔබගේ ආගම ඔබේ බූදලයක් විය හැක, නමුත් කලාව ඔබේ බූදලයක් නොවේ, මගේ අදහස් ඔබේ වහලෙක් නොවේ.






2 comments:

  1. ගතාවල් කියන්නේ ආගමේ බුදලයක් තමයි, ඇයි ගතාවක්ම දාගන්න උවමනාව, වෙනද වගේ කුණුහරුප ටිකක් සින්දුවට දාගන තමන්ගේ බාසාවෙන් කිව්වනම් ඉවරනේ. විරෝදය එන්න මස ගානක් ගියේ රටේ මිනිස්සු බහුතරයක් ඔයිට වැඩිය හොද සින්දු අහන නිසා.

    වචන ටිකක් අස්සට ගාථාවක් දාගන එකට music දාල එක 2.50 FM චනෙල් එකකට ද ගන්න ඕනේ ගොනෙකුට පුළුවන්. ඒ වගේම තමයි blogger එකේ බ්ලොගයක් හදාගන අනිත් මිසිස්සු අදහන ආගමකට විරිද්දුව ලියන්නත් ඕනේ ගොනෙකුට පුළුවන්.. මේවද හලෝ ප්‍රකාශන අයිතීන් කියන්නේ ?

    //ආගමික නායකයන් ආගමික සිද්ධස්ථාන චිත්‍රයට නගන්න කලින් ඔබේ චිත්‍ර ඇඳීමේ හැකියාව මැනල බලන්න පටන් ගනීවි, මොකද රූප විකෘති වෙලා 'අපහසයක්' වෙන්න පුලුවන් නිසා.//

    ඇත්තටම දක්ෂ චිත්‍ර ශිල්පින් තමයි ඒවාට යොදා ගන්නේ. සහ ඉතාමත් බක්තියෙන් කරන දේවල් . තමන්ගේ ආගමික දැනුම හොදට කියල තියනවා.

    තමුන්ගේ ප්‍රකාශන අයිතිය තමුන් තියාගන්න. අපි අදහන, ගරු කරන අපේ ආගම අපි තියාගන්නම්.

    ReplyDelete
  2. මෙන්න ඔබේ ප්‍රකාශන අයිතිය ගැන වැඩි දුර කියවන්න.

    Blogger strongly believes in freedom of speech. We believe that having a variety of perspectives is an important part of what makes blogs such an exciting and diverse medium. With that said, there are certain types of content that are not allowed on Blogger. While Blogger values and safeguards political and social commentary, material that promotes hatred toward groups based on race or ethnic origin, religion, disability, gender, age, veteran status, or sexual orientation/gender identity is not allowed on Blogger.

    For more information on Blogger's policies, please refer to the Blogger Content Policy.

    ReplyDelete