f

Saturday, April 7, 2012

ආගම මිනිස්සුන්ටද?


"ආගම කියන්නෙ මේ බඩගින්න වගේ පටු අරමුනු වලට විසඳුම් දෙන්න තියෙන දෙයක් නෙමෙය්". බෞද්ධාගමික වැඩසටහනක් අතරතුර බඩගින්නට දුප්පත් මිනිහෙක් පාන් ගෙඩියක් හොරකන් කලොත් පව්ද අපේ හාමුදුරුවනේ කියල නිවේදකය අහපු ප්‍රශ්නෙට පිලිතුර හම්බුනේ ඔහොම. ‍

මේ වැඩසටහන විකාශය උනේ රජයේ නාලිකාවක. සුදු ඇඳගත්තු මිනිස්සු සියයක් විතර කකුල් කෙටි අඹර ගෙන බිම ඉඳගෙන දා‍ඩිය පෙරා ගෙන බෙහොම සාවධානයෙන් මේ කතාව අහගෙන ඉන්නව. මිනිස්සුන්ට අඩියක් විතර උඩින් බොහොම සැප පහසුවට තමන්ට වෙන් වුනු ආසනවල ඉඳගත්තු භික්ෂුවකුය්, මහාචාර්ය කෙනෙකුය්.

ඊලඟට මේ භික්ෂුව මෙහෙම කියනව. "ඒ මනුස්සයට පාන් ගෙඩිය හොරකන් කරන්න උනේ දුප්පත් වෙලා ඉපදුනු නිසා, ඒ පෙර ආත්ම වල කරපු පව් වල ප්‍රතිපලයක් හැටියට ".

මරනෙට තියෙන බය නිසා බන අහන්න ආපු වයසක උන්දල ටිකත් ඉතින් ඔලුව හොල්ලනව. ඔතන තමය් හැම ආගමකම උපත. මරනෙ ගැන තියෙන භය, මර‍නෙ නිසා ඇති වෙන දුක වහගන්න ඒ දවස්වල හිටපු මිනිස්සු කලේ ලස්සන සීනි බෝල කතා ටිකක් හදල හිත් සනස ගන්න එක.

අන්තිමට බලනකොට මිනිස්සුන්ට කන්න බොන්න නැත්තෙ ආර්ථික‍ය ක්‍රමයේ හෝ රජයේ හෝ වැරැද්ද නිසා නෙමෙය්, මිනිස්සුම පෙර ආත්ම වල කරපු පව් නිසා.

මහාචාර්යතුමා ඊලඟට මෙහෙම කියනව " ඔය ස්වීඩනයෙ ඇති නැති පරතරය බොහොම අඩුය්, ඇය් ඒ වැඩිය හම්බකරන්න දෙන්නෙ නැහැ ගහනව ටැක්ස්"

කට්ටියගෙම මූනෙ සතුටු හිනාවක් ඇඳෙනව, ලංකාවෙ ආන්ඩුව ටැක්ස් ගහන්නෙ මිනිස්සුන්ට තියෙන ආදරේට.

"ඔය කිරි පිටි වල ඇති දෙයක් නැහැ, මිනිස්සු රවට්ටනව විතරය්, අපේ සමහර මේ ආන්ඩුවට බනිනව කිරි පිටි ගනන් කියල"

ඔය අතරෙ තරුන මූනවල් ටිකකුත් පේනව. පහුගිය කාලෙ ආගම පුලුවන් තරම් උත්සහ කලේ ආගම "කූල්" දෙයක් කරන්න. කූල් ඕනෙම දේකට තරුන තරුනියො ඇදිල එනව. අන්තිමට ලංකාවෙ ‍ඊලඟ පරම්පරාවත් දැන් ඉන්න පරම්පරාව වගේම වෙලා ඉවරය්. ආගම අස්සෙ මනස හිරකරගෙන, ගෝත්‍රවාදයෙන් පස්ස පැත්ත අවුලගෙන.

අන්තිමට කට්ටිය තමන්ගෙ දුප්පත් කමට තමන්ටම ශාප කර කර ගෙදර යන්න ඇති. ඊලඟ ආත්මෙවත් සල්ලිකාරයෙක් වෙන්න පන්සලට මොනා හරි පූජ කරන්න හිතා ගන්න ඇති. හාමුදුරුවරු කියනව මට ඇහිල තියෙනව හිඟන්නන්ට කන්න දුන්නට පින් සිද්ධ වෙන්නෙ නෑ කියල, පන්සලට දානෙ දුන්නම පින වැඩියිලු. 
 
ආගම හැමදාම පුටු උඩ සැපට, මිනිස්සු හැමදාම අඩි ගානක් පහලින් බිම පෙරලිගෙන, වැඳගෙන. ලඟදි බෝ ගහකට මිනිහෙක් නැග්ග නිසා ඒ බෝ ගහ හෝදල "පිරිසිඳු" කරන්න වුනාලු. ඒ කියන්නෙ මිනිස්සු අපිරිසිඳුය්. මොන සංවිධානාත්මක ආගමත් අවුරුදු දහස් ගානක් තිස්සෙ ඉඳන් කලේ ඕකමය්. මිනිස්සුන්ට තමන් ගැනම පහත් විදියට හිතන්න පුරුදු කරන එක.

උඹලගෙ ආත්මය කිලිටිය්, අපිරිසිඳුය්, උඹල පව් කාරයො, උඹලගෙ ජීවිත දුකය්, උඹලගෙ ගැලවුම අපි තමය් කියල සිස්ටම් එකට කඹුරව ගන්න එක. හැමෝම ආගමට වෙන අපහස ගැන කතා කලාට ආගමෙන් මිනිස්සුන්ට කරන මේ අපහස ගැන කව්රුත් කතා කරන්නෙ නැහැ.

ඉතින් ගමේ පන්සල් පල්ලි කෝවිල් රත්තරන් වලින් තට්ටු ගනන් උසට හැදෙනව, ගමේ මිනිස්සු ටික පෙට්ටි ගෙවල් වල.

පල්ලිය පන්සල කෝවිල සල්ලි නැති මිනිහ ඉන්නෙ සතුටෙන් කියල උගන්නනව, පොඩි මිනිහ හිත හදාගෙන හැමදමෙ පැදුරෙ නිදාගන්නව.

බඩගින්න පටු අරමුනක් කියන හාමුදුරුවන්ට වෙලාවට නොමිලේ හොඳට දානෙ හම්බනව, ඕක අහන් ඉන්න මිනිහ රස්සාවෙදි මැරිල මැරිල පොල් සම්බෝලය් බතුය් කනව. කරුමෙ කියල හිත හදාගන්නව.

දේශපාලකයන් සතුටෙන් කල් ගත කරනව

මට අන්තිමේදි මතක් උනේ සූරිය අරනෙ වැද්ද කියපු කතාවක්.

"යකෝ, ඔය මොන ලෝකෙ ගියත් යන්නෙ මලාට පස්සේ!!"






No comments:

Post a Comment