f

Friday, December 16, 2011

තොපිට එරෙහිව අපි



යුද්දෙ ගජරාමෙට නැගල යන දවස් වල රූපවාහිනී නාලිකා වල යුද්දෙටම විතරක් වෙනම විශේෂාංග හදල තිබ්බ. අපේ අයත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටියක් බලනව වගේ ආතල් එකේ ඕව බලන් හිටිය. හැමෝගෙම ආතල් බිඳුනෙ යුද්දෙ ඉවර උනාම. කට්ටියගෙ හතුර මැරිල ගියා. කිරිබත් කෑව, පාර පුරා දිව්ව. හැබැය් චිත්‍රපටියත් ඒත් එක්කම ඉවර උනා.

අපේ රටේ අයට හතුරෙක් නැති උනාම හරි පාලුය්. අපේ බහුතරයකට දාර්ශනික අරගල නැහැ, තියෙන්නෙ ජීවන අරගලයක් විතරය්. නැත්තන් අල්ලපු ගෙදරත් එක්ක අරගලේ විතරය්. රස්සාවය්, ගෙදරය්, නැත්නම් ඉස්කෝලෙය්,ගෙදරය්. එතනින් එහාට ජීවිතයක් නැහැ. රූටත් පාරට බැහැල විනෝද වෙන සුද්දට සංකර ලේබලේ ගහල අපි ටීවී ඉස්සරහට වෙලා කටවල් ඇරන් මෙගා නාට්ටි බලන් ඉන්නව. ඉතින් මේ කාලකන්නි ජීවිත වලට අරමුනක් හම්බෙන්නෙ දැවැන්ත හතුරෙක් මතු වුනොත් විතරය්, එහෙම නැත්තන් අපිට කම්මැලිය්.

ශත වර්ශ ගනනාවක් සුද්දොන්ගෙන් බැට කාපු  මිනිස්සුන්ට ඉබේම ඔය අරමුන හම්බවුනා. සුද්ද ගියාම නැති වුනු අරමුන හදන්න අනගාරික ධර්මපාල වගේ අය ඉදිරිපත් වුනා, නැගිටියව් අන්න අන්ජාතිකාරයො උඹලට වැඩේ දෙන්න හදන්නෙ කියල හතුරෙක් නිර්මානය කරල දුන්න. ඊට පස්සෙ දශක තුනක් පුරාවට යුද්දෙ අපිට ඒ අරමුන හොයල දුන්න. දැන් ඒකත් නැහැ. ඒක නිසා කට්ටියක් අනිත් ජාති ආගම් වල අයව බලෙන් හතුරො කර ගෙන පහර දෙනව,  මෙහෙන් පත්තරකාරයො සමලිංගික භීතිකාවක් පතුරල ඒ අවශ්‍යතාව සපුරල දෙනව. තවත් සමහරු අපේ චින්තනේ තහවුරු වෙන විදියෙ, ඉතිහාසෙ ගැන යුද්දෙ ගැන චිත්‍රපටි හදල අපිට වින්දනයක් දෙන්න හදනව.

යුද්දෙ ගැන කරන බහුතරයක් චිත්‍රපටි වලට ආවේනික ලක්ශනයක් තමය් එක පැත්තක සොල්දාදුවන් අහිංසක මානුශීය වීරයො විදියට නිරූපනය කිරීමත්, අනික් පැත්තේ සොල්දාදුවන් නපුරු මිනීමරුවො විදිහට නිරූපනය කිරීමත්. කොච්චර හොඳ චිත්‍රපටියක ලක්ශන තිබුනත් ස්ටීවන් ස්පීල්බර්ග්ගෙ Saving Private Ryan පවා ඔය පක්ශපාතීකමෙන් පෙලෙනව. ඇමෙරිකානුවො වීරයො කරන ස්පීල්බර්ග් ජර්මානුවන් කපටි අමුනුස්සයන් බවට පත් කරනව.

ලංකාවෙ චිත්‍රපටිවලට එනවිට ඔය තත්වය තවත් අන්ත වෙනව. ගාමනී වගේ චිත්‍රපටි වල කොටි අරමුනක් නැති ඔහේ මරන්නන් වාලෙ මරන යක්කු ටිකක් බවට පත්කරන නිර්මානකාරය උන්ව මරන සොල්දාදුවන්ව වීරයො කරනව. කෙල්ලගෙ තාත්තගෙ හෙංචය්යොන්ට ගහල කෙල්ලව අරන් පැනල ගිහින් වීරය වෙන ‍උන් ගැන තියෙන සිංහල චිත්‍රපටි වලට වඩා ඔය යුද චිත්‍රපටි වල ඇති වෙනසක් නැහැ. ඒ වගේම ගාමනී චිත්‍රපටිය සිංහලයාගේ චිත්‍රපටියක් බවට පත්කරන නිර්මානකාරය සියලු ජාතීන් එකමුතු වෙන්න ඕන බව කියන්න පොඩ්ඩක්වත් උත්සහ ගන්නෙ නැහැ, මොකද එකමුතු වුනු තැන අපේ අය‍ට අරමුනක් නැහැ.

අපේ රටේ මිනිස්සු තනිකර දුවන්නෙ ඔය තොපිට එරෙහිව අපි මානසිකත්වය කියන ඉන්ධනය නිසා. ඒක නැති උනොත් අපි අනාතය්. අපේ කම්මැලි දූපත් ජීවිත වලට නැත්තන් අරමුනක් නැහැ. විද්‍යා විරෝධය, බටහිර විරෝධය, සමලිංගික විරෝධය, මුස්ලිම් දෙමල සිංහල විරෝධය, මේ ඔක්කොම අපේ වටිනා කමක් නැති දූපත් ජීවිත වලට වටිනා කමක් දෙන්න අපි කරන උත්සහයන්. ඉතින් අපේ මිනිස්සු පැය විසිහතරෙම ඉන්නෙ කේනිතියෙන්. කල්ලි ගැහිල එක එකා මරාගන්න බලාගෙන. මිනිහෙක් හැප්පුනාම බස් වලට ගල් ගහන්නෙ ගිනි තියන්නෙ මැරුන මිනිහ වෙනුවෙන් නෙමෙය්, තමන් වෙනුවෙන්, තමන්ගෙ ජීවිතේ ගැන තියෙන කාලකන්නි කේන්තිය මොහොතකට පිට කරගන්න. ඉතින් අපි තවමත් රටක් හැටියට එක තැන පල්වෙන එක පුදුමයක්ද?

ඒකට වගකියන්න ඕන රනිල්වත්, මහින්දවත් වෙනත් දේශපාලකයොවත් නෙමෙය්. ඔවුන් කරන්නෙ අපිට ඔය හතුර හදල දීල අපේ කම්මැලි කම නැති කරල ඡන්දෙ කඩා ගන්න එක විතරය්. ඒ වගේම රූපවාහිනියට එන දේශමා‍මක පඬියොත් නෙමෙය්. ඔවුන් කියන්නෙ අපි අහන්න කැමති දේවල්. මේ හැමෝම කරන්නෙ තියෙන ප්‍රශ්නය තවත් වැඩි කරන එක උනාට වගකියන්න ඕන අපිමය්. අපේ අරමුනක් නැති ජීවිතමය්. අපේ කම්මැලිකම නැතිවෙනකන් අපි හැමදාම ඔය විදියට පිල් බෙදිල ඇන කොටා ගනීවි




2 comments:

  1. සහතික ඇත්ත...හිතන්න ගොඩක් දේවල් තියනවා මේ ලිපිය ඇතුලේ!

    ReplyDelete
  2. Good article, somebody who can think outside the box. Keep it up mate.

    ReplyDelete