f

Tuesday, October 4, 2011

ඔබත් වහලෙක්ද?



ඔබ මේ මොහොතෙ මේ ලිපිය කියවනව. මේ ලිපිය කියවන්න ඔබ තීරනය කලේ ඇය්? කියවන්න වටින ලිපියක් කියල හිතුනු නිසාද? එහෙමනම් ඔබේ හිතට රිංග ගත්ත ඒ අදහස ආවෙ කොහෙන්ද? මගෙන්. ඒ කියන්නෙ ඔබ කැමති උනත් අකමැති උනත් මට පුලුවන් වෙලා තියෙනව මට උවමනා දේ ඔබ ලවා කරගන්න‍. ඔබ අන් අයගෙ අදහස් ඔබේ කියල හිතාගෙන ඔවුන්ගෙ උවමනා ඉෂ්ඨ කරන පුද්ගලයෙක්ද? ඔවුන් වෙනුවෙන් ඔබේ කාලය, මුදල් සහ ශ්‍රමය වැය කරන පුද්ගලයෙක්ද? එහෙම කිව්වම ඔබට කේන්ති යනවත් ඇති. ඒ උනාට ඔබ ජීවිත කාලෙ පුරාම කරල තියෙන්නෙ ඔය දේ නෙමෙය්ද? 

අපි මේ ලෝකෙට එන්නෙ කිසිම විදියක දැනුමක් හෝ අත්දැකීමක් නැතුව. අපි ඉපදුනු අලුත අම්මගෙන් කිරි උරා බොන්නෙ, අම්මගෙ ඇඟිල්ලෙන් අල්ල ගන්නෙ ‍දැනගෙන නෙමෙය්, අපේ ශරීරයෙන් දක්වන ප්‍රතිචාරයක් විදියට. ඒත් ඔහොම ටික කාලයක් යද්දි අපේ අවට ඉන්න පුද්ගලයො, අපේ දෙමව්පියො, ඔවුන්ට අවශ්‍ය විදියට අපිව හසුරවන්න එක එක සම්මතයන් අපේ හිත් වලට ඇතුල් කරනව. වැඩිහිටියො එක්ක එකට එක කියන එක වැරදිය්, හය්යෙන් කතා කරන එක වැරදිය් වගේ අපි කරන දේවල් මැදින් ‍‍ඉරක් ගහල හොඳ නරක කියල පැති දෙකකට බෙදනව. නරකය් කියන දේවල් කරන්න එපා කියනව, කලොත් දඬුවම් කරනව.  තර්ක කරන්න තරම් බුද්ධියක් නැති දරුව එක්කො ඔය දඬුවම වලට බයේ,  නැත්තන් වැඩිහිටියන් සතුටු කරල වරප්‍රසාද හිමි කර ගන්න ‍අරමුන ඇතුව “නරක” නොකරන්නත් “හොඳ” කරන්නත් පුරුදු වෙනව. ඔය අතරෙ ගොඩක් දෙමව්පියො හොඳ නරක ලැයිස්තුව ට අලුතෙන් දේවල් හඳුන්වා දෙන්නත් අමතක කරන්නෙ නැහැ. අර පොතට වඳින්න, මේ පිලිමෙට වඳින්න, එහෙම කලොත් මේව ලැබෙනව, ඒව  පිලිගත්තෙ නැති උනොත් දුක් විඳින්න වෙනව කියල ලමයගෙ මනසට ඇතුල් කරනව. අපි අයිති අහවල් පන්තියට, අහවල් ජාතියට, අපි ඉන්න ඕනෙ මේ විදියට කියල සම්මතයන් හදල දෙනව. යමක් අත්හදා බලල ඒකෙ ප්‍රථිපල අනුව යමක නිරත වෙන්නත්, එයින් වැලකෙන්නත් පුරුදු වෙන්නෙ කලාතුරකින්. 


ඊට පස්සෙ මේ දෙමව්පියො කරන්නෙ තමන්ගෙ අදහස් වලට ගැලපෙන අදහස් දරුවන්ට කවන පාසලකට දරැවව ඇතුල් කරන එක. පාසලෙන් දැනුම දෙන අතරෙම විවිධ මත හිතට ඇතුල් කරනව. ගුරුවරුන්ගෙ පෞද්ගලික මත වලින්, පාසල නියෝජනය කරන ආගමික හා ජන වර්ග වලට අයිති මත වලින් ඔවුන්ව වහල දානව. අවුරුදු ගනනාවක් බිත්ති හතරකින් වට කරල තමන්ට අවශ‍්‍ය විධියට ඔවුන්ව හැඩ ගස්සනව. ඔය බිත්ති හතර ඇතුලෙ නිර්මානය වෙන්නෙ එකම අදහස් තියෙන පිරිසක් නිසා තමන් විශ්වාස කරන දේ ගැන විමසන්න ඔවුන්ට උවමනාවක් ඇති වෙන්නෙ නැහැ. 

ඔය විධියට විශ්වාස ගොඩක් කරපින්න ගෙන තරුන වයසට එන පුද්ගලය ඊලඟට ව්‍යාපාරිකයන්ගෙ ඉලක්කයක් බවට පත්වෙනව. තරුනයෙක් නම් මේ දේවල් මිලදී ගන්න, මේ විදියෙ පෙනුමක් තියෙන්න ඕනෙ, තරුනියක් නම් සුදු වෙන්න ඕනෙ, මේ විධියෙ රූපවාහිනී වැඩසටහන් බලන්න ඕනෙ, ඔබ මේ පන්තියෙ කෙනෙක් නම් මේ තැන් වලට යන්න ඕනෙ, මේ කෑම කන්න ඕනෙ ආදී වශයෙන් ඔවුන් ජීවන රටාවල් ටිකක් හදල දෙනව. කවුරු හරි රෑපවාහිනියෙ මේ දේ හොන්දය් කියල කිව්වොත්‍, ඒ දේ මිල දී ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නව. එහෙමත් නැත්තන් නිකමට වගේ පාවිච්චි කරල බලන්න ගන්නව. පුවත්පතක තියෙන ඕනෙම දෙයක්, රෑපවාහිනියෙ පෙන්වන ඕනෙම දෙයක් ගැන විශ්වාසය තබනව. 

දේශපාලනය ගැන උනන්දුව ඇති වෙන 
වයසට ‍ආවම දේශපාලකයන්ගෙ ඉලක්කයක් බවට පත් වෙනව. දේශපාලකයො දන්නව ඔබේ හොඳ නරක ලැයිස්තුව හැදිල තියෙන්නෙ මොනවයින්ද කියල, ඔවුන්ට පුලුවන් ඔබ හදාගෙන තියෙන ආගම, ජාතිය, පන්තිය වගේ ලේබල් දිහා බලල ඔබේ ඔලුව ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල හරියට අනුමාන කරන්න.මොකද ඔවුන් දන්නව එක වගේ බිත්ති හතරක් ඇතුලෙ හැදෙන්නෙ එක වගේ විශ්වාස තියෙන මිනිස්සු කියල. ඔවුන් අපේ විශ්වාස පාවිච්චි කරල අපිට අලුත් විශ්වාස හදල දෙනව. 

සමහරු කියනව දෙවියො ඉන්නව කියල, ඔවුන් හරි කියල ඔප්පු කරන්න, අනුන්වත් එහෙම හිතන්න පොලඹවන්න නොකරන දෙයක් නැහැ. තව අය දෙවියො නැහැ කියල ‍කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනව. සමහරු කියනව අපේ ජාතිය තමය් උසස් කියල, කට්ටියක් කියනව හැමෝම එක සමානය් කියල. සමහරු කම්කරු පන්තිය දිනවන්න වලි කද්දි කට්ටියක් කියනව ධනවාදෙ නැතුව බැහැ කියල. සමහරු තමන් කැමති දේශපාලකය, තමන් කැමති පක්ෂෙ වෙනු‍වෙන් මැරෙන්න උනත් ලෑස්ති වෙලා ඉන්නව. තවත් රටක දේශපාලකයො පන්නන්න මිනිස්සු මැරුම් කනව. අපි හැමෝටම ප්‍රියතම කෑම ජාතියක්, බීම ජාතියක්,  කැමති ජංගම දුරකතන වෙලඳ නාමයක්,  කැමති අවන්හලක් තියෙනව. කැමති ගායකයෙක්, නලුවෙක් ඉන්නව. කැමතිම රූපවාහිනී නාලිකාවක්, වැඩසටහනක් තියෙනව. ඒ දේවල් වෙනුවෙන් මුදල්, ශ්‍රමය සහ කාලය වැය කරනව. අනිත් අයටත් ඒව අත්හදා බලන්න කියමින් නොමිලේ වෙලඳ දැන්‍වීම් සපයනව. 


මේ ලිපිය ලියන මමත්, ලිපිය කියවන ඔබත් කොපමන විශ්වාස හා මත දරනවද? ඒ උනාට අපි කීයෙන් කී දෙනාද අපෙන්ම අහන්නෙ, “ඇය් මම විශ්වාස කරන දේවල් මම විශ්වාස කරන්නෙ?”. වහලෙක් තම ස්වාමිය වෙනුවෙන් ටොන් ගනන් බර අදිනව, ඒ උනාට හම්බෙන්නෙ යන්තන් කුස පුරවගන්න කෑම ටිකක් විතරය්. ඇත්තටම ඔබෙත් මගෙත් විශ්වාස වලින් වැඩි වාසි ලබන්නෙ කවුද? අපි දන්නෙම නැතුව අපි මාධ්‍ය කාරයො වෙනුවෙන්,  ව්‍යාපාරිකයො වෙනුවෙන්, දේශපාලකයො වෙනුවෙන් බර අදිනව. ඔවුන් අපේ මුදල්, ශ්‍රමය, කාලය ඉන්ධනයක් කරගෙන ඔවුන්ගෙ අරමුනු වෙත ලං වෙනව. ඔවුන් කරන්නෙ ඔවුන් ගෙ අදහස් අපේ අදහස් කියල අපිට අඟවන එක. අපි කරන්නෙ අපිට අවශ්‍ය දේ කියල අඟවන එක. නමුත් යථාර්තය නම් අපි කරන්නෙ ඔවුන්ට අවශ්‍ය දේ. 

අපි අපේ හොඳ නරක ලැයිස්තුවට සමාන ලැයිස්තු නැති මිනිස්සු එක්ක හැප්පෙනව, අපේ දේ තමය් හොඳම කියන්න අපි දඟලනව. අනුන් අපේ මොල වලට ඇතුලු කල දේ තේරුමක් නැතුව ඔහේ ගිරව් වගේ නැවත නැවත කියවනව. අපි මේ ක්‍රමයට කොච්චර හුරු වෙලාද කියනවනම් ඒක අපිට ආඩම්බරයක්. කවුරුවත් හොන්ඳය් කියන දේ මිල දී ගන්න එක අපිට ආඩම්බරයක් . අපේ ජාති ආගම් පන්ති පට්ටම් අපිට ආඩම්බරයක්. අනුන් කියන දේ අහල අනුන් වෙනු‍වෙන් බර අදින එක අපිට ආඩම්බරයක්. අපි ආඩම්බරකාර වහල්ලු. තමන් වහල්ලු කියලවත් නොදන්න වහල්ලු. 

ප්ලේටො මිනිස්සුන්ව සමාන කරන්නෙ ගුහාවක් ඇතුලෙ අඳුරෙ දම්වැල් වලින් බැඳල දාලා තියෙන, බිත්තියෙ තියෙන හෙවනැලි දිහා බලල සතුටු වෙන, ඒවට වටිනා කම් දෙමින්, ආලෝකයට යන්න උවමනාවක් නැතුව ජීවත් ‍වෙන පිරිසකට. අපිට නොතේරෙන්න අපිව ‍දම්වැල් ගොඩකින් බැඳලය් තියෙන්නෙ. අපේ මනස දම්වැල් වලින් බැඳල අනුන්ට අවශ්‍ය ‍විධියට අපිව මෙහෙයනව. කුඩා කාලෙදි විමසා බලන්න තියෙන හැකියාව අඩු නිසා හැම දෙයක්ම පිලි ගත්තත් අපි බුද්ධියෙන් පරිනත උනාට පස්සෙ කරන්නෙත් ඔය ටිකමය්. අපි විශ්වාස කරන ගොඩක් දේවල් විශ්වාස කරන්නෙ විශ්වාස කරන පලියට. ඒකය් පොඩි ලමයෙක් "ඇය් ඒ" කියල ඇහුවම අපිට උත්තර නැති වෙන්නෙ. පොඩි ලමය් අපිට සවන් දෙන්න සූදානමින් ඉන්නෙ. නමුත් අපි, අපි හරියි කියන ස්ථාවරය දරනව, අන් අයට ඇහුන්කන් දෙන්නෙවත් ඔවුන්ගෙ මත වලට ගරු කරන්නෙවත් නැහැ. 

අපි පොඩ්ඩකට නැවතිලා අපි විශ්වාස කරන දේවල් වැරදි වීමේ සම්භාවිතාව ගැන හිතල බලන්නෙ නැහැ. අපිත් "ඇය් ඒ" කියල අපෙන්ම අහන්න පටන් ගන්න දවසට තමය් අපිට අපේ මනස හිර කරල තියෙන දම්වැල් පේන්න ගන්නෙ. අකමැත්තෙන් හරි අනුන්ගෙ මත වලටත් ඇහුන්කන් දුන්නොත් තම‍ය් අපි කරන වහල් කම් අපිටම තේරුම් යන්නෙ. එම නිසා ඔබට සමාන මත තියෙන අය සමග පමනක් සිටීම ස්වයං වින්දනයක් පමනය්, එතන ඉදිරියට යාමක් ඇත්තෙ නැහැ. ආගමිකයො, නිර්ආගමිකයො, ලිබරල්, ‍කන්සරෙටිව් කඳවුරු වලට බෙදිල අපි අපේ මත වලට සමාන මත තියෙන මිනිස්සු එක්ක අදහස් බෙදා ගන්න කොට අපිට ලොකු සතුටක් වගේම ආරක්ශාවක් දැනෙනව, ඒ අපි සමාන අදහස් තියෙන මිනිස්සු එක්ක ආපහු කොටු වෙලා නිසය්. ආරක්ශිත බවක් දැනෙන කඳවුරු වලින් එලියට එන්න. අපි කවුරුත් දැනුමෙන් පරිපූර්න නැහැ,  අපි හැමෝම "ඇත්ත" හොයන්නෙ අපි කවුරුත් ඇත්ත දන්නෙ නැති නිසය්. ඒ හේතුව නිසා අපිට කවදාවත් සම්පූර්නයෙන් විශ්වාස කියන දම්වැල් වලින් නිදහස් වෙන්න ලැබෙන්නෙ නැහැ. නමුත් අපි පුලුවන් තරම් නිදහස් විය යුතුය්, අඩුම තරමෙ අපි දම්වැල් වලින් බැඳිල ඉන්නෙ කියලවත් තේරුම් ගත යුතුය්. ඔබ ඔබව ඉලක්ක කරන අයගෙන් "ඇය් ඒ" කියල අහන්න පටන් ගන්න, ඔබ ඔ‍බේ විශ්වාස ලැයිස්තුව අරන් ඔබෙන්ම "ඇය් ඒ" කියල අහන්න පටන් ගන්න, ඔබේ විශ්වාස ඔබේ හිත ඇතුලට රිංග ගත්තෙ කොහෙන්ද කියල හොයා ගන්න උත්සහ කරන්න, එදාට තමය් ඔබ නිදහස් වෙන්නෙ. නිදහස් වන්න අකමැති උනත් තමන් බැඳල තියෙන දම්වැල් ගැන අවබෝධයෙන් ඉන්න, දම්වැ‍ලේ අනිත් කොනේ ඉන්නෙ කව්ද කියල තේරුම් ගන්න. එවිට ඔවුන්ට උවමනා විදියට ඔබේ විශ්වාස දම්වැල් ඔබව වහල් කමේ යොදවන්න පාවිච්චි කරන්න බැරි වේවි. කොහොම හරි ලිපියෙ අන්තිම වෙනකන් මම ඔබව රඳව ගත්ත නේද?